මහ බැංකු බැඳුම්කර වංචාවේ වූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස ශ්‍රී ලංකා රජය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉකුත් 2018 මැයි මස 18 වැනිදා නිල ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම සිංගප්පූරු නීතිපතිවරයාගේ
අවධානයට දැනටමත් යොමු වී ඇති බවට එරට විදේශ කටයුතු අමාත්‍යනංශය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇති බවත්, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

සිංගප්පුරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ  ප්‍රකාශකයකු සිදුකළ බවට එරට මාධ්‍යවල පළකර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළකර ඇති වාරිතා සිංගප්පුරු රජයේ නිල ප්‍රකාශ ලෙස පිළිගත නොහැකි බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවකි.

සිංගප්පූරුවේ පිටුවහල් නීතියට අනුව යම් පුද්ගලයකු එරටින් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පදනම් වන ලිපි ලේඛන කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් ලබාදී නොමැති බව එම පුවත්පත් වාර්තාවල සඳහන් කර තිබුණි.  එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු එවන් ප්‍රකාශයක් සිදුකරන ලද්දේ මෑතක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධව සිංගප්පූරුවේ වෙසෙන බවට පැවසෙන අර්ජුන්  මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන  ලෙස සිංගප්පූරු රජයේ අවධානයට යොමු කරමින් එරට අග්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන්ග් මහතාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ නිල ප්‍රකාශය පදනම් කොට ගෙනය.

කෙසේ නමුත් මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් සිංගප්පූරු රජය මගින් ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන් වෙත ලබා දී නොමැත.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්ෂණය කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල ඉල්ලිමක් 2018 මැයි මස 28 වන  දින සිදු කර තිබේ. එසේම එම ඉල්ලීම දැනටමත්  සිංගප්පූරු නීතිපතිවරයාගේ අවධානයට යොමුවී ඇති බවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්  ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇත.

සිංගප්පුරුවට අදාළ උදර්පණ නීතිය වන්නේ එරට ක්‍රියාත්මක වන උදර්පණ පනතයි. එකී පනතේ දෙවැනි පරිච්ඡේදයට අනුව 18 වන වරදට සමාන වරදක් අර්ජුන් මහේන්ද්‍රන්  සිදුකර ඇති බව කොටුව මහේස්ත්‍රාත්වරයාට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරන ලද  8266/2018 ඊ වාර්තාවේ සඳහන් කර ඇත.

එකී වාර්තාව පදනම් කරගෙන 2018-04-19 වන
දින ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තුවක්  නිකුත් කර ඇති අතර, එකී රතු වරෙන්තුව ද ඉහත කී සිංගප්පූරු රජය වෙත ඉදිරිපත් කරන ලද උදර්පණ ඉල්ලීම සමග ඉදිරිපත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිංගප්පූරුවේ සිදුකරන ලද නිල සංචාරයේ දී ද  අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරුවේ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ එකී පදනමෙනි.

 ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන්ව උදර්පණය  කිරීමට අවශ්‍ය හරයාත්මක තොරතුරු ශ්‍රී ලංකා රජය මගින් මේ වන විට සිංගප්පූරු රජයට ලබා  දී ඇති බවත්, එම පදනමෙන් සිංගප්පූරු රජයේ බලධාරින් මගින් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නොතීසි නිකුත් කිරීම සිදුකළ යුතුව ඇති බවත් කියා තිබුණි.

අර්ජුන් මහේන්ද්‍රන්ට අදාළ චෝදනා  සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාවේ  නීතිපතිවරයා වෙත දන්වා ඇති අතර මෑතක දී ලැබුණු එම ලිපියට අදාළ කරුණු සිංගප්පූරුව වෙත යැවීම සඳහා මෙරට නීතිපතිවරයා මේ වන  විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවති.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයකු කරන ලදැයි කියන වාර්තාවක් පදනම් කර ගනිමින් එරට මාධ්‍ය පළකර තිබූ වාර්තා උපුටා දක්වමින් මෙරට මාධ්‍ය පළවී තිබූ ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල  ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව අප රජයේ  අදහසයි.