https://www.gossiplankanews.com/2018/11/monaragala-lover-victim.html#more
මොණරාගල මගන්දලමුල්ල සු‍මේධ වැව ආසන්නයේදී 24 වනදා උදෑසන තරුණියකගේ මළ සිරුරක් හමුව තිබුණි. ඇයගේ හිස කොටස වැව් ජලයේ එරී තිබුණ අතර සිරුරේ ඉතිරි කොටස ගොඩබිමේ තිබුණි. ඇය වැවට යන පාරේදී ඝාතනය කර මෙතැනට ගෙනවිත් දමා ඇති බවට සාක්ෂි හමු විය.
ඇයව ඝාතනය කර තිබුනේ ගෙල මිරිකා බවත් එය කර ඇත්තේ
පෙම්වතා විසින් බවත් පසුව කරුණු එළි විය.
මියගිය තරුණිය 22 හැවිරිදි වියේ පසුවූ ඉරෝෂිනී ප්‍රියංගිකා නමැත්තියකි. වෘත්තියෙන් මොණරාගල ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වායාම සිදු කරගෙන ගිය ඇය අවසන් වරට එම ආයතනයේ සිට පැමිණ තිබුනේ පෙම්වතා හමුවීමටය. ගමේම අයෙකුවූ 23 හැවිරිදි පෙම්වතා කොළඹ රැකියාව කරන්නෙකු බවත් කොළඹ සිට සතිඅන්තයේ ගමට එන ඔහු ප්‍රශ්නයක් ගැන කථාකරන්න තියනවා යයි ඇයට දැනුම්දී තිබූ බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.


මියගිය ඉරෝෂිනී රූපලාවන්‍ය ආයතනය කරගෙන යන්නේ පෙම්වතාගේ සොයුරිය සමගය. පෙම්වතාගේ පණිවිඩය ගැන ඇයටද දැනුම්දී ඉරෝෂිණී එදින ඔහු හමුවන්නට ගොස් තිබේ. වැව ළඟට ගිහින් කතාකරමු යයි පෙම්වතා ඇයව යතුරු පැදියේ නංවාගෙන එහි ගොස් ඇති බවට සාක්ෂි ලැබී තිබේ. ඉරෝෂිණී වෙනත් ඇසුරක් පවත්වන බවට හා ආගන්තුක දුරකථන ඇමතුම් තිබෙන බවට සැකයක් මත එම අවස්ථාවේ වාද කරන්නට ඇතිය යන්න ඉරෝෂිණීගේ සහායිකාව වූ පෙම්වතාගේ නැගණිය පොලිසියට පවසා ඇත.

වාදය අවසානයේ ආවේගාත්මකව පෙම්වතා පෙම්වතියගේ ගෙළ මිරිකා මරාදමන්නට ඇතිය යන්න මේ වනවිට ලැබී තිබෙන සාක්ෂි වලින් ඒත්තුගොස් ඇත. මළ සිරුර හමුවුනේ සෙනසුරාදා උදෑසන වන අතර එදිනම පෙම්වතා පොලිසියට භාර විය.

මියගිය ඉරෝෂිනී ප්‍රියංගිකා ගොවිතැනින් ජීවත්වූ දරුවන් 5 දෙනෙකු යුත් පවුලක වැඩිමල් දියණිය වූ බවද කියැවිණි. මළ සිරුර හමුවූ අවස්ථාවේ ඉරෝෂිණීගේ සිරුර දැක කම්පනයට පත්වූ ඇගේ මව පළාතම දෙවනත් කරමින් විලාප නැගුවාය. ඇයව විවාහ කරගන්නට අපේක්ෂාවෙන් දෙපාර්ශ්වයම දැනුවත්ව පැවැත්වූ සම්බන්ධතාවය මේ ආකාරයට නිමාවේය යන්න සිහිනෙන්වත් නොසිතූ දෙයක් බව මව පැවසුවාය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත්වූ සුවිශේෂ වීඩියෝවක් නිසා මෙම මරණය කලින් වළක්වා ගතහැකි එකක් නොවූයේ මන්දැයි සමාජ මාධ්‍ය තුළ කථාබහක් මතුව තිබේ.
 එම වීඩියෝවේ දැක්වෙන්නේ ඝාතනය සිදුවූ මගන්දලමුල්ල සු‍මේධ වැව අසළ පටු පාරේ මැදකදී තරුණියක බිම දමාගෙන ඇගේ සිරුරට බර දමාගෙන තරුණයෙකු ගෙළ මිරිකමින් සිටින අයුරුය.

ආසන්නයේ සුනඛයෙකු මේ සිද්ධිය දෙස බලමින් මහහඩින් බුරන අයුරුද සටහන්ව තිබේ.

ජංගම දුරකථනයකින් එය වීඩියෝ ගත කරන තරුණයන් දෙදෙනා සිදු කරන සංවාදයක්ද පටිගතවී තිබෙන අතර 'තරුණිය තම ප්‍රශ්නයට මැදිවන්න එපා' යයි මේ තරුණයන්ට කියා සිටි බවක්ද එහිදී කතාවෙයි. එසේම පොලිසිය කියල තියනවා බලාගෙන ඉද්දි මැරුවත් මැදිහත්වෙන්න එපා යයි එක් වීඩියෝ තරුණයෙකු කියන හඩද ඇසේ. සයිකලයේ අංකය ඡායාරූපයට නගාගමු යයිද ඔවුන් කතාවෙනු ඇසේ.

කෙසේ වෙතත් මේ ආකාරයට මරණයක් සිදුවන අවස්ථාවක එය පටිගත කිරීම පමණක් නොකර වෙනත් දෙයක් නොකළේ මන්දැයි සමාජ මාධ්‍ය තුළ සංවාදයක් මතුව තිබේ.

ඝාතනය පාරක් මැදදී සිදු කළත් මළ සිරුර හමුවන්නේ  වැව ආසන්නයේය. මෙසේ බලද්දී අදාළ විඩියෝව සිදු කළ අය මළ සිරුර වෙනත් තැනකට ගෙනයනතුරුත් බලා සිටියාද යන කාරණා ගැනද සැක මතුවේ.
මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඝාතන සැකකාර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
සංවාදයට ලක්වූ වීඩියෝව පහතින්