https://www.gossiplankanews.com/2018/11/inside-report-maithripala.html
පාර්ලිමේන්තුව තුළ පැවති අර්බුදකාරී වාතාවරණය තීරණාත්මක ස්වරූපයට පත්වූ පසු අද 15 සවස ජනපතිවරයාගේ ආරාධනය අනුව විශ්වාස භංගයට සහයදුන් පක්ෂ නායකයින් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සාකච්ජාවක් කළ අතර එයට කතානායක කරු ජයසුරිය සහ
එක්සත් ජාතික පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් පැමිණ තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ කිසිඳු නියෝජිතයකු ඊට සහභාගිවූයේ නැත.
 මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාගේ පසුගිය තීරණ අනුව කෝපාන්විත ස්වරූපයක් අපේක්ෂා කළ

නමුත් මෙම සාකච්ඡාව සුහද ලෙස පැවති බව අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ (14) දිනයේ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ සඳහන් ඇතැම් කරුණු වැරදි බවත් එය සම්මතවූ ආකාරය දෝෂ සහිත බවත් ජනපති පෙන්වාදී තිබේ.
කෙසේ වෙතත් මෙහිදී යෝජනාව ඉදිරිපත් කළ පක්ෂ දන්වා සිටියේ තාක්ෂණික වශයෙන් පැවති එම සුළු දෝෂ කෙසේ වෙතත් බහුතරය අගමැති මහින්දට විරුද්ධ බවයි. එම අදහස ගැන මෛත්‍රී විරුද්ධතාවයක් පෙන්වා නැත. ඔහු පවසා ඇත්තේ එසේ නම් ඊයේ සිදුවූ දෝෂ හරිගස්සන ලෙසයි.

විශ්වාසභංගය සංශෝධනය කර නීතියට අනුකුලව හා විධීමත්ව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව හෙට 16 දහවල් 1.30 ට

රැස්වන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගය නැවත ඉදිරිපත් කරනු ඇත.
ජනපතිවරයා ඊයේ ජවිපෙ සටහන් කළ විශ්වාසභංගයේ වගන්ති දෙකක් ඉවත් කරන්නට උපදෙස් දුන් බවද පැවසේ.
මෙම වගන්ති දෙක මුල් කොට විශ්වාසභංගය සම්මතවීමක් වුවොත් අගමැති මහින්දට පමණක් නොව ජනපතිවරයාගේ තනතුරටද බලපෑ හැකි කරුණු එහි අඩංගුව පැවතීමයි.

 'අංක 20194/43, 20194/43 ඒ්, සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත් '
යන කොටසට ජනපති අකමැතිවී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුවද පවරා ඇත්තේ ජනාධිපති ව්‍යවස්ථාව කඩ කර ඇති බවට නිසා
පාර්ලිමේන්තුවෙන්ද ඊට සාක්ෂි සැපයෙන යෝජනාවක් සම්මත වීම මත ජනපති ධූරයට ගැටලු ඇතවේයයි ජනපතිට උපදෙස් සපයා ඇති නීතීඥයින්ට සැකයක් පහළවී තිබේ.

මෙම කතාබහ අනුව ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති ජනපතිවරයා ආණ්ඩු පක්ෂය හෙට පරාජය වූවොත් අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂව ඉවත් කරනු ඇති බවට සාකච්ඡාවට සහභාගීවූ අයට බලාපොරොත්තු ඇතිකර තිබේ.
 කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි වාර්තා කරන්නේ රනිල් නැවත අගමැති කිරීමකට මෛත්‍රිපාල ජනපතිවරයා සිය නොකැමැත්ත පළ කළ බවකි.
නාමිකව විශ්වාසය පළ කර හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සිදුකරන්නටද ජනපති උපදෙස් දී ඇත. හෙට දිනයේ විශ්වාස භංගයේදීත් නැවත කලහ ඇති කර ඡන්ද විමසීම කඩාකප්පල් කරන්නට උත්සාහ දරනු ඇති බවට මේ අවස්ථාවේ කතානායක පෙන්වාදුන් පසු ජනපති පවසා ඇත්තේ විකල්ප ලෙස 47 (1) ස්ථාවර නියෝගය ප්‍රකාරව හඬ විමසා බහුතරය විමසීමේ ක්‍රමයට ඡන්දය විමසන ලෙසත් එය තමන්ට ගැටලුසහිත නොවන බවත්ය.
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවට සහභාගී වූ අය 11 දෙනෙකු පමණක් වූ අතර එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා පමණක් මේ ගැන මාධ්‍ය හමුවකට එක්වූ අතර ඔහු කියා සිටියේ
“ මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ.  සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. තීන්දුවක් ගත්තා මට ඒක කියන්න බෑ.ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්නය විසදේවි” යනුවෙනි.
ඒ අනුව හෙට 16 පාර්ලිමේන්තුවට අලුත් විශ්වාස භංගයක් නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.