මහ බැංකු අධිපතිවරයා කුමක් ප්‍රකාශ කළ ද තෙල් මිල සූත්‍රය මේ වන විට අහෝසි කර ඇතැයි කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.


රජය කටයුතු කරන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ගන්නා තීන්දු අනුව මිස මහ බැංකු අධිපතිවරයා ගන්නා තීන්දු අනුව නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වත්මන් රජය කටයුතු කරන්නේ පසුගිය රජය මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය අයුරින් නොවන නිසා

ජනතාවට සහන ලබාදීමට කිසිඳු බාධාවක් නැතැයිද ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ තෙල් මිල සූත්‍රය තවමත් අහෝසි කර නැති බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්, එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මහබැංකු අධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයකින් කියැවුනේ තෙල් මිල සූත්‍රය අහෝසිකර නැති බවත් මහින්ද අගමැතිගේ උපදෙස් මත එය මාස්පතා වෙනස් කිරීම වෙනුවට වෙනත් විකල්පයක් පමණක් හඳුන්වා දී ඇති බවත්ය. මිල සූත්‍රය මත ඉන්ධන මිල ඉහළදැමීම ලෝක බැංකු නියමයන් මත ලංකාව අනිවයාර්යයෙන් සිදු කළ යුතු දෙයක් බවට තවමත් පත්ව තිබෙන බව ඔහු දන්වා තිබුනි.