https://www.gossiplankanews.com/2018/10/14-4-child-death.html
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය අතරතුර දරුවන් දෙදෙනකු සෙල්ලම්  කරමින් සිටියදී වත්තට එන මාර්ගය අයිනේ කපා තිබුණු පතහට වැටුණු 14 හැවිරිදි දරුවා දියේ ගිලී උඩට එන විට පතහෙන් ගොඩවීමට අත දිගු කළ 4 හැවිරිදි දරුවාද පතහට වැටී දෙදෙනාම
ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් කුරුණෑගලින් වාර්තාවේ
 කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැත්වූ මරණ පරීක්ෂණයකදී අනාවරණය වූ පරිදි මියගිය 4 හැවිරිදි දරුවාගේ පියා මෙසේ කියා තිබේ.
‘මියගොස් සිටීන කවිශාන් මගේ පුතායි. මියගොස් සිටින ළහිරු නවීන් මගේ පුංචි අම්මාගේ පුතා.

නෑකමට ඔහු මගේ සහෝදරයෙක්. පොතුහැර කටුපිටිය ප්‍රදේශයේ අක්කර 20ක වත්තක මුර සේවයට බිරිය හා දරුවා සමඟ 5 වැනිදා උදේ මම ගියා. කටුපිටිය වත්ත නමින් හඳුන්වන පොල් ඉඩමේ පදිංචියට මා සමඟ මියගිය මගේ පුතා ආවා. ඥාති සහෝදරයාත් වත්තට ඇවිත් යන්න අපි සමඟ ආවා. අපි මුරගෙට ඇවිත් ටික වෙලාවකදී වැස්සා. දවල් 3ට විතර වැස්ස පෑවාට පස්සේ මම පොල් අහුලන්න වත්තට ගියා. මා පසුපස පුතා හා ඥාති සහෝදරයා ආවා.

වත්තට ඇතුළුවන පාරේ ගලාගෙන එන වතුරේ දෙන්නාම සෙල්ලම් කරමින් සිටියා. ඒ අසල තිබුණු පතහට ඥාති සහෝදරයා වැටෙනවා මම දැක්කා. ඒ අය සිටි තැන මීටර් 50ක පමණ දුරීනුයි මම සිටියේ. දිය යට ගොස් උඩට ආ ඥාති සහෝදරයාව අල්ලාගෙන ගොඩට එනන්ට අත දිගු කළ මගේ පුතාත් පතහට වැටෙනවා මා දැක්කා. පතහට බැහැලා මගේ දරුවා සහ ඥාති සහෝදරයා හෙව්වත් එවෙලේ හමුවුණේ නෑ. අසල්වවාසීන් සමඟ විනාඩි 20ක් පමණ සෙවූ විටයි ඔවුන් හමුවුණේ. ගොඩට ගත් දෙදෙනාම මතව තලම්පිටිය ප්‍රාදේශීය රෝහලට අරගෙන ගියත් එහි වෙදවරයා දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පැවැසුවා.'

මෙසේ මිය ගොස් ඇත්තේ නවගත්ත, යටියනදුර, වාරිපොළ ලිපිනයේ පදිංචිව සිටි මාස්පොත මහ විදුහලේ 9 වසරේ ඉගෙනුම ලැබූ පී.ජේ. ලසිදු නවීන් විතාරණ (14) සහ මාඑළිය පොල්පිතිගම පදිංචි එච්.ඩී. කවිශාන් ලක්ෂාන් පුෂ්පකුමාර (4) නමැති පිරිමි දරුවන් දෙදෙනාය. ඔවුන් නෑකමට බාප්පා සහ පුතා වේ.    
මියගිය දරුවන් දෙදෙනාගේ මරණය සම්බන්ධව කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක ධර්මකීර්ති අමරසිංහ මහතා මෙම මරණ දෙක දියේ ගිලීමෙන් සිදුවූ ඒවා බවට නිගමනය කළේය.

-විජේසිංහ වැලිකන්ද-