william-and-kate-play-cricket-in-india

බ්‍රිතාන්‍යයේ වේල්සයේ කුමරු වන විලියම් සහ කේට් කුමරිය වසර හතරකට පසු සිය පළමු ඒකාබද්ධ විදෙස් සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණ ඇත. ඔවුන් ලන්ඩනයේ සිට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් වාණිජ මගී ගුවන් යානයකින් රාත්‍රී කාලයේදී මුම්බායි වෙත ළඟා වී තිබේ.




මෙම රාජකීය යුවළගේ ඉන්දීය සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ විලියම් කුමරුගේ අර්ත්ෂොට් සම්මාන උළෙල සැමරීමයි. ලෝකයේ පාරිසරික අර්බුද සඳහා වඩාත් නව්‍ය විසඳුම් දිරිගැන්වීම වෙනුවෙන් වාර්ෂිකව පවුම් මිලියන 5ක ත්‍යාග මුදලක් මෙම සම්මානය හරහා පිරිනැමේ.

මුම්බායි නුවරට පැමිණ පැය කිහිපයකට පසු, යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පයෙන් සහ වීදි ක්‍රිකට් තරග සඳහා ප්‍රසිද්ධියක් උසුලන බැලර්ඩ් වතුයාය ප්‍රදේශයේදී ක්‍රිකට් ක්‍රීඩාවට එක්වීමට රාජකීය යුවළ කටයුතු කළහ. එහිදී හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් යොමු කළ පන්දුවකට කේට් කුමරිය දැවැන්ත හයේ පහරක් එල්ල කිරීම කාගේත් අවධානයට ලක්විය. එමෙන්ම විලියම් කුමරු යොමු කළ පන්දුවකට ද ඇය සාර්ථකව මුහුණ දුන්නාය.




මෙම අවස්ථාව සඳහා කේට් කුමරිය කොළ පැහැති වෙරෝනිකා බියර්ඩ් බ්ලේසර් කබායකින්, සුදු පැහැති කලිසමකින් සහ කමිලා එල්ෆික් පාවහන්වලින් සැරසී සිටියාය. දශකයකට පමණ පසු නැවතත් මුම්බායි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බව කේට් කුමරිය එහිදී පැවසුවාය. විලියම් කුමරු කාර්ඩෝ සන්නාමයේ ඉන්දියානු සම්ප්‍රදායික ක්‍රමයට අතින් වියන ලද නිල් පැහැති කපු කබායකින් සිය කමිසය මතින් සැරසී සිටියේය.

ක්‍රිකට් තරගය අතරතුරදී විලියම් කුමරු ද පිත්ත අතට ගත් අතර සචින්ගෙන් උපදෙස් කිහිපයක් ද ලබා ගත්තේය. නමුත් ඔහු මුහුණ දුන් තුන්වන පන්දුවෙන්ම දැවී ගියේය. එහි සිටි සිසුන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින් අදහස් හුවමාරු කරගත් කුමරු, සචින් ඔබේ ප්‍රියතම ක්‍රීඩකයාදැයි විමසූ අතර, ඔහු මේ ප්‍රදේශයට දෙවියෙක් හෝ රජෙක් වගේ නේදැයි සඳහන් කළේය.



අර්ත්ෂොට් වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සචින් ටෙන්ඩුල්කාර්, එය සුවිශේෂී පාරිසරික මෙහෙවරක් බවත්, පෘථිවිය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු ලෝකයම විලියම් කුමරු වටා රොක් වී සිටින බවත් ප්‍රකාශ කළේය.

පාරිසරික හිතකාමී ප්‍රවාහන ක්‍රමවල වැදගත්කම සහ ලෝකයේ විශාලතම නගරවල තිරසර වර්ධනය සඳහා ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රාජකීය යුවළ ඉන් අනතුරුව මුම්බායි මෙට්‍රෝ දුම්රියේ ගමන් කළහ. එසේම කේට් කුමරියගේ අතැතිව තිබූ අත්බෑගය ද විශේෂ පාරිසරික පණිවිඩයක් ගෙන ආවේය. එය ලන්ඩනය පදනම් කරගත් SurPrice සන්නාමය යටතේ ඉවතලන වී සහ දහයියා භාවිතයෙන් සම් වෙනුවට නිපදවන ලද පරිසර හිතකාමී නිෂ්පාදනයකි. ඉන්දියාවේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය පිළිස්සීම අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.

පසුගිය ජූලි මාසයේදී ආරම්භ වූ දැවැන්ත නිදහස් වෙළඳ ගිවිසුමත් සමඟ රාජකීය යුවළගේ මෙම සංචාරය දෙරටේ සබඳතාවල ඉහළම අවස්ථාවක් ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් හඳුන්වා දී ඇත. මෙම සංචාරය හරහා එම සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි ඔවුහු දැඩි අපේක්ෂාවෙන් පසුවෙති.

සංචාරයේ සිය පළමු නිල කතාව පවත්වමින් විලියම් කුමරු ප්‍රකාශ කළේ පෘථිවිය ආරක්ෂා කර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා ලෝකයට තවත් බලා සිටිය නොහැකි බවත්ය. 

gossiplanka image