update-the-story-of-the-15-year-old-mother-and-daughter-found-in-the-cave-takes-a-different-turn---what-happened-was-a-gang-rape

නකල්ස් රක්ෂිතයේ අඳුරු වන ලැහැබක් මැද පිහිටි හුදෙකලා ගල් ගුහාවක සඟවා සිටි පහළොස් හැවිරිදි දැරියකගේ සහ ඇයගේ මාස දෙකක් වයසැති බිළිඳියගේ ඛේදනීය කතාව මේ වන විට වෙනස් මුහුණුවරකට හැරී ඇති අතර අතිශය කම්පන සහගත සිද්ධිදාමයක් වූ මේ ගැන විශේෂ අවධානයකට ලක්ව තිබේ. මීමුරේ ප්‍රදේශයෙන් අතුරුදන් වී මාස පහකට පසු උඩුදුම්බර පොලිසිය විසින් මෙම දැරිය සොයා ගනු ලැබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඊට පසුබිම් වූ තවත් අතිශය කම්පන සහගත තොරතුරු රැසක් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.




පොලිස් භාරයට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා අවුරුදු 36 සහ 23 යන වයස්වල පසුවන අතර, ඔවුන් මාමා සහ බෑණා බව මේ වන විට තහවුරු වී තිබේ. පොලිස් විමර්ශනවලට අනුව, අදාළ දැරිය අටවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 2023 වසරේදී 36 හැවිරිදි සැකකරු විසින් ඇයව පළමුව ලිංගික අපයෝජනයට ලක් කර ඇත. ඉන් අනතුරුව 23 හැවිරිදි අනෙක් සැකකරු ද ඇයව අපයෝජනයට ලක් කර ඇති අතර, අවස්ථා ගණනාවකදී මෙම දෙදෙනා විසින්ම වරින්වර දැරියව අපයෝජනය කර ඇති බව හෙළි වී තිබේ.

මෙම බිහිසුණු අපයෝජන මාලාව හේතුවෙන් දැරිය ගැබ්ගෙන ඇති අතර, ඇයව ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑබද ගල් ගුහාවකට රැගෙන ගොස් ඇත. ඉටිරෙදිවලින් ආවරණය කළ එම රහසිගත ගුහාව තුළ ඇය සිය බිළිඳිය ප්‍රසූත කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. වඩාත් ඛේදනීය කරුණ වන්නේ, දරු ප්‍රසූතියෙන් පසුවද මෙම අසරණ දැරියව සැකකරුවන් දෙදෙනා විසින්ම අවස්ථා කිහිපයකදී යළිත් වරක් ලිංගික අපයෝජනයට ලක් කර තිබීමයි.




සමාජ මාධ්‍ය තුළින් අර්ථගැන්වූ පරිදි මෙම කතාව හුදෙක් ආදරය පදනම් කරගෙන ලොවට රහසින් පවුල් ජීවිතයක් ගත කිරීමට තැනක් සොයාගිය කතාවක් ලෙස සිතා තිබූ අර්ථය මේ අනුව වෙනස්වේ. දරුවාගේ පියා මාමාද පුතාද යන්න තහවුරු නොවන අතර දෙන්නාම දැරිය අපයෝජනය කර ඇත්තේ පවුල් ජීවිත ගතකිරීමේ අපේක්සාවකින් නොවන බව පෙන්නුම් කර තිබේ. ඔවුන් මෙම බාලවයස්කාරියගේ ජීවිතය අවදානමේ හෙළිමින් සිදුකර ඇත්තේ බරපතල අපයෝජනයකි. ඇය තවදුරටත් දරුවෙකු සමග අසරණවීමේ හෝ ජීවිතය අහිමිවීමේ මහා ඛේදවාචකයකට පෙර පොලිසියට සොයාගැනීමට හැකිවීම වාසනාවකි.

මෙම අපරාධය නීතියේ රැහැනට හසුවන්නේ උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිදුකළ සූක්ෂම විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි. ගමේ වෙළෙඳසැලකින් දිනපතා තනි පුද්ගලයෙකුගේ පරිභෝජනයට නොගැළපෙන තරම් වැඩි සහල් ප්‍රමාණයක් මිලදී ගන්නා 23 හැවිරිදි තරුණයා කෙරෙහි ඇතිවූ සැකය මත පොලිසිය ඔහු පසුපස හඹා ගොස් තිබුණි. ඒ අනුව දුෂ්කර ගල් ගුහාවක සිරවී සිටි බාලවයස්කාර මව සහ බිළිඳිය මුදාගැනීමට පොලිසියට හැකි විය.



කිසිදු වෛද්‍ය පහසුකමක් නොමැතිව සිදුවූ එම වනගත දරු ප්‍රසූතියේදී, කිතුල් කර්මාන්තයට ගන්නා තියුණු ආයුධයකින් බිළිඳියගේ පෙකණි වැල කපා, පැණි සාදන තාච්චියක දමා දරුවා නාවා ඇති බව සැකකාර තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත. වනාන්තරයෙන් සොයාගත් අත්බෙහෙත් පමණක් භාවිත කරමින් මව සහ දරුවා ජීවත් කරවීමට ඔවුන් උත්සාහ දරා තිබේ. අනාරක්ෂිත උපත් ක්‍රම සහ දුෂ්කර පරිසරය හේතුවෙන් මවගේ සහ බිළිඳියගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබුණද, මේ වන විට ඔවුන් දෙදෙනාම ආරක්ෂිතව පසුවෙති. අභ්‍යන්තර ආසාදන හෝ පෝෂණ ඌනතා පරීක්ෂා කිරීම සඳහා ඔවුන් මේ වන විට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.

වයස අවුරුදු 16ට අඩු දැරියක වීම හේතුවෙන්, අත්අඩංගුවේ පසුවන මාමා සහ බෑණා යන දෙදෙනාට එරෙහිව ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, උඩුදුම්බර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශනයක් පවත්වයි.

හුදෙක් අපරාධයක් පමණක් නොව, මෙරට සමාජීය සහ පවුල් පසුබිමේ ඇති අනාරක්ෂිත බව පිළිබඳ බරපතල සංවාදයක් මෙම සිදුවීම හරහා නිර්මාණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය බලවත් කම්පනය පළ කළාය. දැරියගේ සහ බිළිඳියගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය තහවුරු කිරීමට රජයෙන් ගත යුතු සියලු පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඇය එහිදී අවධාරණය කළාය.