
මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින චීන ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන සයිබර් වංචා මධ්‍යස්ථාන පිළිබඳ අනාවරණ වීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. අන්තර්ජාතික අපරාධකරුවන් මෙරට භූමිය සිය නීතිවිරෝධී මෙහෙයුම් සඳහා යොදාගැනීමේ ප්‍රවණතාවක් මතුව ඇති මෙම පසුබිම මැද, ඊට එරෙහිව මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ඒකාබද්ධ විමර්ශන දියත් කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන පරිදි, ශ්‍රී ලංකා බලධාරීන් කළ නිල ඉල්ලීමකට අනුව නොවැම්බර් 16 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරට රැඳී සිටින්නේ FBI ආයතනයේ චාලට් ක්ෂේත්‍ර කාර්යාලයට අයත් කණ්ඩායමකි. සයිබර් අවකාශය ඔස්සේ සිදු කෙරෙන මූල්‍ය වංචා මැඬපැවැත්වීම සහ අන්තර්ජාතික අපරාධ ජාල බිඳ දැමීම සඳහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මෙම සංචාරය ක්‍රියාත්මක වේ.
දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා සෘජුවම සහාය වීමටත්, සිය විශේෂිත තාක්ෂණික දැනුම දේශීය බලධාරීන් වෙත ලබා දීමටත් FBI ආයතනය විසින් මෙම විශේෂ කණ්ඩායම පිහිටුවා ඇත. මෙම කාලය තුළ විමර්ශන ශිල්පීය ක්‍රම, ඩිජිටල් අධිකරණ වෛද්‍ය විද්‍යාව (Digital Forensics) සහ නඩු ගොනු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් සමඟ උරෙනුර ගැටී කටයුතු කරනු ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මාර්ගගත (Online) වංචාවලින් පීඩාවට පත් වූ වින්දිතයින් නිවැරදිව හඳුනා ගැනීමත්, අපරාධ ක්‍රියාකාරකම් පසුපස හඹා ගොස් වගකිව යුත්තන්ට එරෙහිව ශක්තිමත් නීතිමය පියවර ගැනීමත්ය.
ලොව පුරා විහිදුණු මෙම අපරාධ ජාල මේ වන විටත් ඩොලර් බිලියන ගණනක මුදලක් සොරකම් කරමින් සිටින බව පෙන්වා දෙන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මේයර්, මෙම ඒකාබද්ධ මෙහෙයුමේ වැදගත්කම මෙසේ පැහැදිලි කළේය.
"විදේශයන්හි සිට ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින අතර, ඔවුන් නතර කිරීමට අපි කැපවී සිටින්නෙමු. FBI ආයතනයේ විමර්ශන විශේෂඥ දැනුම සහ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ඒකාබද්ධ කිරීමෙන්, අපට වින්දිතයින් හඳුනා ගැනීමටත්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවාලීමටත්, තවත් අමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයින් මෙම වංචාවලට හසුවීම වැළැක්වීමටත් හැකියාව ලැබේ."
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව දියත් වන මෙම වැඩපිළිවෙළ, හුදෙක් එක් සංචාරයකට පමණක් සීමා නොවී මෙරට සයිබර් වංචා මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ FBI ආයතනය අතර ආරම්භ කෙරෙන අඛණ්ඩ සම්බන්ධතාවක මූලාරම්භය සනිටුහන් කරයි. අන්තර්ජාතික අපරාධ ජාල විසින් සයිබර් අපරාධ මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීම වැළැක්වීමේ දේශීය හැකියාව මේ හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇත.
අන්තර්ජාතික අපරාධ ජාල ක්‍රියාත්මක වන ඕනෑම තැනකදී ඔවුන් පසුපස හඹා යෑමටත්, අමෙරිකානු පුරවැසියන් මූල්‍ය සූරාකෑම්වලින් ආරක්ෂා කිරීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා අන්තර්ජාතික නීතිය ක්‍රියාත්මක කරන හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමටත් අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් කැපවී සිටින බව තානාපති කාර්යාලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.