venerable-kassapa-thero-said-that-a-death-fast-had-been-imposed-on-me-and-that-is-why-i-was-not-in-court

ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවක් මඟහැරීම හේතුවෙන් විවෘත වරෙන්තු ලබා සිටි බලංගොඩ කස්සප හිමියන් ඊයේ (16) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (17) දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. අනුරාධපුරයේ වෙනත් සිදුවීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින උන්වහන්සේව, මෙම විවෘත වරෙන්තුවට අනුව ත්‍රිකුණාමලය අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන් විසිනි.




සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් රැසක් එක හඬින් චෝදනා කර සිටියේ උන්වහන්සේ මහේස්ත්‍රාත්වරයාට සහ අධිකරණයට අපහාස කර ඇති බවයි. කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු ඉදිරිපත් වී නොසිටි අතර, ඒ පිළිබඳව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සන්සුදීන් මහතා සැකකාර හිමියන්ගෙන් විමසීමක් කළේය. පෙර දින රාත්‍රියේ තමන්ව ත්‍රිකුණාමලය බන්ධනාගාරයට රැගෙන ආ බැවින් නීතිඥ සහාය ලබාගැනීමට වේලාවක් නොතිබුණු බව එහිදී උන්වහන්සේ අධිකරණයට දැනුම් දුන්හ.

අනතුරුව විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ලබාගත් කස්සප හිමියෝ, තමන්ට එරෙහිව නිකුත් වූ වරෙන්තුව සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළහ. වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය වරාය පොලිසිය හරහා ගොනු කර ඇති මෙම නඩුව පසුගිය 11 වැනිදා කැඳවූ අවස්ථාවේ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තිදෙනෙකු අධිකරණයේ පෙනී නොසිටීම නිසා 

මහේස්ත්‍රාත්වරයා විසින් නොතීසි නිකුත් කර තිබුණි. එදින තමන් අධිකරණයට නොපැමිණියේ අනුරාධපුරයේ පැවති මාරාන්තික උපවාසයක නිරත වී සිටි බැවින් යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ. එම උපවාසය අතරතුරදී පහරකෑමකට ලක්ව රෝහල්ගත වීමට සිදුවීම හේතුවෙන් ත්‍රිකුණාමලයේ නඩුවට පෙනී සිටීමට නොහැකි වූ බව පවසමින් උන්වහන්සේ අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියහ.සැකකාර හිමිනම ප්‍රකාශ කළේ තමන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව තිබූ දින අනුරාධපුර මාරාන්තික උපවාසයක නිරතවී සිටි බවත් එහිදී පහර කෑමට ලක්ව රෝහල්ගත වීම නිසා ත්‍රිකුණාමලයේ නඩුවට පෙනී සිටීමට නොහැකි වූ බවයි.




තවද, තමන් කිසිදු අවස්ථාවක අධිකරණයට හෝ මහේස්ත්‍රාත්වරයාට අපහාසයක් නොකළ බවත්, තමන් ප්‍රකාශ කළේ සංඝ නීතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ නොදන්නාකම පමණක් බවත් කස්සප හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

මෙහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර සමරසිංහ මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින්, සැකකාර හිමිනමට ඇප ලබාදීමට විරෝධය පළ කළේය. ප්‍රශ්නගත නඩුවට අදාළව ත්‍රිකුණාමලය මහාධිකරණයෙන් ඇප නියම කිරීමේදී පනවා තිබූ ඇප කොන්දේසි සැකකාර හිමියන් විසින් කඩකර ඇති බැවින් මෙලෙස ඇප ලබාදීමට විරුද්ධ වන බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නේය.



දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සන්සුදීන් මහතා, සැකකාර කස්සප හිමියන් අද (17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මාරාන්ති උපවාසයක් යෙදී උසාවි එන්නට බැරි බව කස්සප හිමි උසාවියේදී ඊයේ කියා සිටියද උපවාසය අතරතුර වීඩියෝ වලට පෙනී සිටිමින් කියා සිටියෙ තමන් කිසිදාක නඩුවකට උසාවි ගොස් නැති බවත් දමිළ කලාපයේ අසන මෙම නඩු තමන්ට අදාළ නොවන බවයි.