charith-abeysinghes-assets-seized-after-he-took-bribe-from-a-cattle-dealer

පාතාල නායක 'හරක් කටා'ගෙන් රුපියල් කෝටි දොළහක අතිවිශාල අල්ලසක් ලබාගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව, ඇප මත සිටින ප්‍රධාන සැකකරුවකුගේ දේපළ තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව හොරණ සමගි ජන බලවේගයේ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහට අයත් හොරණ ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම මෙලෙස තහනමට ලක් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.

බෝදරගම මහතා හමුවේ ඊයේ (16) නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණි.




අල්ලස් කොමිසම විසින් අධිකරණය වෙත විශේෂ මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කරමින් මෙහිදී අවධාරණය කළේ, 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ 71 වැනි වගන්තියට යටත්ව මෙම දේපළ අත්හිටුවීමේ පියවර ගත් බවයි. අදාළ දේපළ ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය මේ වනවිටත් චරිත් අබේසිංහගේ බිරිඳ වෙත භාරදී ඇති අතර, එහි පිටපතක් හොරණ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ද යොමු කර ඇති බව කොමිසම අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

මෙම දේපළ තහනම ක්‍රියාත්මක වන්නේ, සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළවය. චරිත් අබේසිංහට අමතරව නීතිඥ රඛිත රාජපක්ෂ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අරුණ වරුණ හැන්දිගේ (අරුණ චතුරංග) යන අය මෙම සිද්ධියේ සෙසු සැකකරුවන් වෙති. පසුගිය ජූනි 25 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු මෙම තිදෙනා පසුව ජූලි 28 වැනිදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණි.




සැකකරුවන් ඇප මත නිදහස්ව සිටියද, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතියේ දැඩි අවධානය යොමුව ඇති බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ තහවුරු කළේය. චරිත් අබේසිංහගේ දේපළ තහනම් කිරීමට පෙර, මහාධිකරණ නියෝග මත නීතිඥ රඛිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී වාහන සහ බැංකු ගිණුම් හතරක් තහනමට ලක් කර තිබේ. ඊට අමතරව, අනෙක් සැකකරු වන වරුණ හැන්දිගේ යන අයගේ බිරිඳට සහ පියාට අයත් වාහන දෙකක් ද තහනම් කිරීමට අල්ලස් කොමිසම මීට පෙර පියවර ගෙන තිබූ බව මෙහිදී අධිකරණයට අනාවරණය කෙරිණි.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද මෙම සියලු කරුණු සහ දේපළ තහනම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ඉදිරි ප්‍රගතිය එළඹෙන දෙසැම්බර් 08 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.