රුවන්වැලි සෑය අභියස අද (නොවැම්බර් 12) පස්වරුවේ හටගත්තේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. එම භූමියේ මාරාන්තික උපවාසයක සහ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් පොලිස් භාරයට පත්වීමත් සමග මෙම සිදුවීම් මාලාවට අද (12) ජුගුප්සාජනක අවසානයක් සටහන් විය.
මෙම අත්අඩංගුවට ගැනීමට පෙර, අද දිනයේදී අදාළ භූමියට තවත් භික්ෂූන් වහන්සේ නමක ඇතුළු පිරිසක් පැමිණීමත් සමග එහි ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබිණි. එම අවස්ථාවේදී ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ රාජාංගණයේ හිමියන් මේ වන විට රෝහල් ගත කර ඇත.
පොලිස් භාරයට පත් වූ භික්ෂූන් වහන්සේලාට අදාළ භූමියෙන් ඉවත් වන ලෙස මීට පෙර අධිකරණය විසින් නියෝග කර තිබිණි. ඊට අමතරව, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තවත් අධිකරණ වරෙන්තුවක් ද නියමිතව පැවතුණි. එලෙස අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකරමින් සහ නීතියට අවනත නොවෙමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් තවදුරටත් සිය සත්‍යග්‍රහය එම භූමියේ පවත්වාගෙන ගොස් තිබුණි.
කෙසේ වෙතත්, අද පස්වරුවේ හටගත් මෙම උණුසුම් තත්ත්වය මැද සිදුවූ පොලිස් අත්අඩංගුවට ගැනීම් සමග, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් දියත් කර තිබූ මාරාන්තික උපවාසය සහ සත්‍යග්‍රහය අවසන් වනු ඇති බවට විශ්වාස කෙරේ. උපවාසය පැවැත්වීම සඳහා ඉදිකර තිබූ තාවකාලික අට්ටාලය ද පොලිසිය විසින් ඉවත් කර තිබේ.