university-professors-have-bequeathed-3000-million-rupees-to-the-government

රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩ කරමින් විදේශගත වූ කථිකාචාර්යවරුන්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් කෝටි 3,000 කට ආසන්න බවට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මහජන මුදලින් නඩත්තු වන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින මෙම බරපතළ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ කාරක සභාව, එම මුදල් අයකර ගැනීම සඳහා කඩිනම් හා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට දැඩිව පෙන්වා දී ඇත.




මෙම තොරතුරු හෙළිදරව් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (4) පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝප් කමිටුවේදීය. ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමසා බැලීම සඳහා මෙම කැඳවීම සිදු කර තිබිණි. එහිදී විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණය, පරිපාලන ක්‍රියාවලිය සහ ආයතනික කාර්ය සාධනය සම්බන්ධයෙන් පවතින ගැටලු රැසක් සහ ඒවා නිවැරදි කිරීමට ගතයුතු පියවර කමිටුවේ දීර්ඝ විමර්ශනයට ලක්විය.

රජයෙන් වාර්ෂිකව රුපියල් කෝටි 300 කට ආසන්න මුදලක් විශ්වවිද්‍යාල වෙත ලැබුණද, කළමනාකරණ කමිටුව නියෝජනය කිරීම සඳහා මහා භාණ්ඩාගාර නියෝජිතයකු නොමැති වීම කෙරෙහි මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය. ඊට අමතරව, අභ්‍යන්තර විගණන ඒකකයේ පුරප්පාඩු පැවතීම සහ මූල්‍ය කටයුතුවලට සෘජුව සම්බන්ධ නිලධාරියකුම ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කිරීම මගින් ළැදියාවන් අතර ගැටුමක් නිර්මාණය විය හැකි බවද කමිටුව පෙන්වා දුන්නේය.




නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළව ද අක්‍රමිකතා රැසක් මෙහිදී අනාවරණය කෙරිණි. සුදුසුකම් හා පදවි උසස්වීම් සඳහා ඉදිරිපත් කර තිබූ පරස්පර සහතික පත්‍ර, මූලික සුදුසුකම් පිළිබඳ ගැටලු මෙන්ම අදාළ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු අතුරුදන් වීම පිළිබඳවද කමිටුව අවධානය යොමු කළේය. සිසුන් හා මවුපියන් විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විමර්ශනවලදී මතු වූ කරුණු සලකා බැලූ කාරක සභා සභාපතිවරයා, මෙම චෝදනා සහ පැමිණිලි සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව, මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා සේවයෙන් ඉල්ලා අස්වී නැවත සේවයට පැමිණි කථිකාචාර්යවරියකට රුපියල් 36,33,900 ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව හෙළි වූ අතර, එම මුදල කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව දැනුම් දුන්නේය. පරිවාස කාලයේ සිටි කථිකාචාර්යවරයකුට ලබාදුන් අධ්‍යයන නිවාඩු ගණනය කිරීමේදී සිදුවූ දෝෂයක් පිළිබඳව ද මෙහිදී තොරතුරු අනාවරණය විය.



ප්‍රසම්පාදන ක්‍රියාවලියද අක්‍රමිකතාවලින් ගහණ බව කෝප් කමිටුවේදී හෙළි විය. වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන කමිටුවක් මගින් නිර්දේශ කර තිබූ විනය ක්‍රියාමාර්ග පවා මෙතෙක් ක්‍රියාත්මක කර නොතිබීම කමිටුවේ දෝෂදර්ශනයට ලක්විය.

සහායක කාර්ය මණ්ඩලයේ සේවකයන් 38 දෙනකු ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මගහැර ක්‍රියා කර ඇති බවත්, ඔවුන් සිය වාර්ෂික නිවාඩු හිමිකම් ඉක්මවා දින 5 සිට 83.5 දක්වා වැඩිපුර නිවාඩු ලබාගෙන ඇති බවත් විගණන වාර්තා මගින් පෙන්වා දී තිබේ. මේ හේතුවෙන් ගෙවා ඇති රුපියල් 99,181,45725 ක වැටුප් මුදල් නිරවුල් කිරීමට හෝ අයකර ගැනීමට හෝ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙළි විය. මින් ඉදිරියට සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතු ජෛවමිතික පද්ධතියක් අනිවාර්ය කරන ලෙස කමිටුව උපදෙස් දුන්නේය.

විශ්‍රාමික, සේවය හැරගිය සහ දැනට සේවයේ නියුතු පුද්ගලයන්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. එම මුදල් හා සම්බන්ධ ලේඛන අතුරුදන් වී ඇති බව පවසමින්, ඒ සඳහා සිවිල් යුද්ධය, සුනාමි ව්‍යසනය සහ ගංවතුර වැනි හේතු ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කළ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළේය. පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවට නිවැරැදි හා වගකීම් සහගත තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඔහු නිලධාරීන්ට අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල පාලක සභාවලට හිමි ස්වාධීනත්වය, මූල්‍ය පරිපාලන වගකීම් මගහැරීමට හේතුවක් කර නොගත යුතු බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. රාජ්‍ය මුදල් භාවිත කරන සියලුම විශ්වවිද්‍යාල රාජ්‍ය හා මූල්‍ය විනයට යටත් විය යුතු බව අවධාරණය කෙරිණි. පාලක සභාවල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මැදිහත් වී තීරණ ගැනීමට හැකිවන පරිදි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කමිටුව විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබුර් රහුමාන්, අබූබකර් අතම්බාවා, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවරණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, රාජපක්ෂ, විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩවිතාන, පත්මනාදන් ධර්ම ප්‍රිය, වෛද්‍ය සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.