අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ හිටපු ප්‍රධාන කපු මහතාගේ නිවසේ ශීතකරණයකින් සහ ගෙවත්තෙන් වනසතුන්ගේ මස්, ජීවමාන ඉබ්බන් මෙන්ම ඇත්දළ අත්පලඳනාවක් සොයාගැනීමේ සිද්ධිය නවමු මුහුණුවරක් ගෙන තිබේ. සිය නිවස වැටලූ වනජීවී නිලධාරීන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් හිටපු ප්‍රධාන කපු මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අනුව, එළැඹෙන 16 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත්දෙනෙකුට සිතාසි නිකුත් කර ඇත.
අනුරාධපුර, විහාර පාලුගම, විහාර කල්ලංචිය ලිපිනයේ පදිංචි බී. ජයවර්ධන නමැති හිටපු ප්‍රධාන කපු මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ඔහු කොමිසමට පවසා ඇත්තේ 2025 නොවැම්බර් 18 වැනිදා ගිනි අවි අතැතිව, නිල සහ සිවිල් ඇඳුමින් සැරසී පැමිණි වනජීවී නිලධාරීන් කණ්ඩායමක් තම නිවස පරීක්ෂා කළ බවයි. නිවස පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ඇත්දැයි විමසූ විට, නිලධාරීන් පවසා ඇත්තේ එවැනි නියෝගයක් අවශ්‍ය නොවන බවයි.
මෙම ආන්දෝලනාත්මක වැටලීමේදී නිවසේ ශීතකරණයේ තිබී ගෝන මස්, කබල්ලෑව මස්, මී මින්නා මස්, ඉබි මස් සහ ඉබි බිත්තර 14ක් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. ඊට අමතරව නිවසේ පොකුණක සහ බැරලයක සිටි ගල් ඉබ්බන් 6 දෙනෙකු මෙන්ම ඇත් දළවලින් සකසන ලද අත් පලඳනාවක්ද වනජීවී භාරයට ගැනුණි. කෙසේ වෙතත්, ශීතකරණයේ තිබූ වනසතුන්ගේ මස් වර්ග සම්බන්ධයෙන් කපු මහතා නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ ඒවා 'පූජාවකට' තබාගෙන සිටි බවයි.
වැටලීම අතරතුර නිවසේ තිබූ සේප්පුවද තමාව ලවා විවෘත කරගත් බව පැමිණිලිකරු පවසයි. සේප්පුවේ තිබූ මුදල් නිලධාරීන් භාරයට ගෙන, ඒවා ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කර තිබේ. ප්‍රධාන කපු තනතුරට අදාළ මල් කඩයෙන් ලැබුණු ආදායම සහ වාහනයේ පොත උකස් කර දියණිය විදේශගත කිරීම සඳහා තබාගෙන සිටි මුදල් එහි වූ බව තමන් නිලධාරීන්ට පැහැදිලි කළ බව ජයවර්ධන මහතා කොමිසමට කරුණු දක්වා ඇත.
වනජීවී නිලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් තමා සේවය කරන උතුම් ස්ථානයේ නමටත්, තම තනතුරටත්, විහාරගම්වලටත් දැඩි අපකීර්තියක් හා කැළලක් සිදුවූ බව හිටපු ප්‍රධාන කපු මහතා අවධාරණය කරයි. ඉන් තමාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් කඩවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටී.
මේ අනුව, අනුරාධපුර දිස්ත්‍රික් සහකාර වනජීවී අධ්යක්ෂ චන්න සුරවීර, පිඹුරත්තෑව අඩවි ආරක්ෂක බී.ටී.කේ. පෙරේරා, රිටිගල වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේසිංහ, අඩවි ආරක්ෂක ජේ.ඒ.එන්.එල්. ජයසූරිය, අඩවි ආරක්ෂක එස්.එස්.ඒ. වික්‍රමරත්න, වන සත්ව අඩවි සහකාර එස්.ආර්.එම්. අධිකාරි සහ වන සත්ව නියාමක එස්.එම්.එස්.කේ. සෙනෙවිරත්න යන නිලධාරීන්ට මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සමස්ත සිද්ධිදාමය තුළ කැපී පෙනෙන විශේෂත්වයක් ද පවතී. වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සමග හිටපු ප්‍රධාන කපු මහතාගේ නිවසට ගොස් මෙම වැටලීමට අණ දෙමින් එය මෙහෙයවූ ප්‍රධාන නිලධාරියා වන රිටිගල වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතාගේ නම, මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොතිබීමයි.