වට්ටමඩු තෘණ භූමියෙන් සිය ගවයින් ඉවත් කරගෙන යළි ගම්බිම් බලා රැගෙන යාමට සැරසුණු තිරුක්කෝවිල් කිරි ගොවීන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ දශක ගණනාවක් පුරා ඇදී ආ ඉඩම් අර්බුදයක තීරණාත්මක සන්ධිස්ථානයකටය. ගවයින් පිටතට ගෙන ඒම සඳහා ඊයේ උදෑසන වන විට සියයකට ආසන්න කිරි ගොවීන් පිරිසක් මාර්ගය ආසන්නයට රැස්ව සිටි අතර, විශාල ගවයින් සංඛ්‍යාවක් ද එම ස්ථානයට ගෙනවිත් තිබිණි.
එහෙත් ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමඟ පිටතට ගෙන ඒමට සූදානම් කරමින් සිටි තවත් ගවයින් විශාල පිරිසක් යළි කැලෑ වැදීම හේතුවෙන් සමස්ත ක්‍රියාවලියම අඩාල විය. කැලෑ වැදුණු සතුන් සොයා ගැනීමට කල් ගත වීම නිසා ඊයේ දිනයේදී ගවයින් පිටතට ගෙන යාමට නොහැකි වූ අතර, උද්ගත විය හැකි තත්ත්වයට මුහුණ දීමේ සූදානමින් පොලීසිය ද එම ස්ථානයට පැමිණ සිටියේය.තිරුක්කෝවිල් කිරි ගොවීන්ට මෙලෙස තමන් දිගු කලක් පරිහරණය කළ වට්ටමඩු තණබිම අතහැර දැමීමට සිදුවූයේ ඉකුත් 19 වනදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙසය. මෙම භූමියේ අයිතිය සම්බන්ධයෙන් යළිත් බරපතළ ගැටලුවක් නිර්මාණය වීම හමුවේ ඊට විසඳුමක් සෙවීම සඳහා නැගෙනහිර හා උතුරු මැද පළාත් භාර වන සංරක්ෂක දේවානි ජයතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි. එහි අවසානයේ දේවානි ජයතිලක මහත්මිය ඇතුළු පිරිස තීරණය කළේ සියලු දෙනාම වට්ටමඩු තණබිම්වලින් ඉවත් විය යුතු බවය. ඒ අනුව තිරුක්කෝවිල් කිරි ගොවීන්ට වට්ටමඩු තෘණ භූමිය යළිත් තහනම් කෙරුණු අතර, එම භූමියෙන් සිය ගවයින් ඉවත් කරගන්නා ලෙසට ද ඔවුන්ට දැනුම් දෙනු ලැබීය.
මෙම තීරණයේ බරපතළකම වඩාත් පැහැදිලි වන්නේ නැගෙනහිර පළාත මෙරට කිරි ගව කර්මාන්තය තුළ දරන ස්ථානය දෙස බැලීමේදීය. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට වැඩිම ගව ගහනයක් වෙසෙන්නේ නැගෙනහිර පළාතේය. එම පළාත තුළ සිටින ගවයින් සංඛ්‍යාව 568,123ක් වන අතර, එය මෙරට සමස්ත කිරි ගවයින්ගේ ව්‍යාප්තියෙන් සියයට 36.6කි. එවන් පසුබිමක වට්ටමඩු තෘණ භූමිය අහිමි වීම තිරුක්කෝවිල් කිරි ගොවීන්ගේ පාරම්පරික ජීවනෝපායට සෘජුවම බලපාන සංවේදී ගැටලුවක් බවට පත්ව තිබේ.
වට්ටමඩු තෘණ භූමියේ ඉතිහාසය 1970 දශකය දක්වා දිව යන්නකි. 1974 වසරේදී එවකට අම්පාර දිසාපතිවරයාව සිටි පර්සි අබේසිංහ මහතා විසින් අක්කර 4,700ක භූමියක් මැන වෙන් කරන ලද අතර, පසුව 1976 වසරේදී පාර්ලිමේන්තුව හරහා අක්කර 4,000ක තෘණ භූමියක් ලෙස එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් පසුගිය යුද සමයේදී ආරක්ෂක හේතූන් මත තිරුක්කෝවිල් දමිළ කිරි ගොවීන්ට සිය ගවයින් මෙම තෘණ භූමියට ඇතුළු කිරීම ආරක්ෂක අංශ විසින් වාරණය කරනු ලැබීය. එය මෙම භූමියේ ඉරණම වෙනස් කළ පළමු හැරවුම් ලක්ෂ්‍යය විය.
දමිළ කිරි ගොවීන්ට වට්ටමඩු භූමිය තහනම් වීමත් සමඟ ප්‍රදේශයේ තවත් පිරිසක් නීති විරෝධී ලෙස එහි කුඹුරු සකසා වගා කිරීම ආරම්භ කළහ. යුද්ධය නිමාවී තමන්ගේ පාරම්පරික ජීවනෝපාය යළි ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් තෘණ භූමිය වෙත පැමිණි තිරුක්කෝවිල් කිරි ගොවීන්ට දැකගත හැකි වූයේ එම බිමේ වැඩි කොටසක් කුඹුරු බිම් බවට පත් කර ඇති ආකාරයයි. මෙලෙස නීති විරෝධීව කුඹුරු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී වයස අවුරුදු 11 සිට 17 දක්වා වන දරුවන්ට පවා බලපත්‍ර ලබා දී තිබීම විශ්මය දනවන කරුණක් විය. 2010 වසරේදී බක්මිටියාව - කිඹිරිගොල්ල රක්ෂිතයට ඇතුළත් කරන ලද මෙම භූමියේ වගා කිරීම සඳහා එලෙස නිකුත් කළ බලපත්‍රවල කිසිදු පිටපතක් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ අම්පාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නොමැති වීම මෙම කූට ව්‍යාපාරය කොතරම් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වූයේද යන්නට පැහැදිලි නිදසුනක් ලෙස පෙන්වා දී තිබේ.
සිය තෘණ භූමියේ සිටින අනවසර වගාකරුවන් ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් තිරුක්කෝවිල් කිරි ගොවීන් 2011 වසරේදී අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ මෙවන් වටපිටාවකය. එම නීතිමය ක්‍රියාදාමය අතරතුර 2023 වසරේදී තිරසර ඉඩම් කළමනාකරණ වැඩසටහන යටතේ මෙම වගා කළ භූමියෙන් හෙක්ටයාර 400ක් රක්ෂිතයෙන් ඉවත් කිරීමට යෝජනා වූ නමුත්, පැවති නඩු කටයුත්ත හේතුවෙන් එම යෝජනාව අතහැර දැමිණි. එහෙත් වසර ගණනාවක් පුරා විභාග වූ කිරි ගොවීන්ගේ පෙත්සම මේ වසරේ මාර්තු 27 වනදා අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඊට හේතු ලෙස අධිකරණය පෙන්වා දුන්නේ තෘණ භූමියට අදාළව නිකුත් කර තිබූ ගැසට් පත්‍රය හදිසි නීතිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද්දක් බවත්, මේ වන විට හදිසි නීතිය අවලංගු වී ඇති බැවින් අදාළ ගැසට් පත්‍රය ද අවලංගු වී ඇති බවත්ය.
අධිකරණ තීන්දුවත් සමඟ තෘණ භූමියේ නීතිමය රැකවරණය අහිමි වී වන සංරක්ෂණ බලධාරීන්ගේ නව තීරණය ක්‍රියාත්මක වන විට, තිරුක්කෝවිල් කිරි ගොවීන් පමණක් නොව සමස්ත ප්‍රදේශයම නව ගැටලුවක් අබියසට පැමිණ තිබේ. දස දහස් ගණනක් ගවයින් වට්ටමඩු තණබිමෙන් ඉවත් කර ගම්බිම් කරා රැගෙන ආ පසු මතු වන ඊළඟ ගැටලු සමුදායට විසඳුම් සෙවීම බලධාරීන්ට පැහැර හැරිය නොහැකි වගකීමක් බවට දැන් පත්ව තිබේ.