
අනුරාධපුර සංවර්ධන සැලැස්ම මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවකි. එක් පසෙකින් රුවන්වැලිසෑය වැනි ඓතිහාසික චෛත්‍යයන් ගිලා බසිනු ඇතැයි ද, පූජා නගරය තුළ ස්පා සහ මත්පැන්හල් ඉදිවනු ඇතැයි ද යන බියකරු චිත්‍රයක් සමාජයට මවා පෙන්වමින් තිබේ.
එහෙත්, මෙම විරෝධතාවන්ගේ යටිපෙළ කියවා බැලීමේදී පෙනී යන්නේ, ඊට හාත්පසින්ම වෙනස් වූ භූමි කොල්ලයක සහ අනවසර පදිංචිකරුවන්ගේ ඛේදවාචකයක් මෙම අරගලය පිටුපස සැඟවී ඇති බවයි.මෙම ආන්දෝලනාත්මක තත්ත්වය වඩාත් උණුසුම් වූයේ පසුගිය ඔක්තෝබර් 26 වනදා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවත් සමඟිනි. යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම යටතේ සිදුකෙරෙන භූගත ඉදිකිරීම් සහ උමං මාර්ග හේතුවෙන් රුවන්වැලිමහාසෑය ඇතුළු ප්‍රධාන චෛත්‍යයන්හි අත්තිවාරම්වලට බලපෑම් එල්ල වී ඒවා විනාශ වීමේ අවදානමක් පවතින බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.
ඊට අමතරව, බෞද්ධ සිද්ධස්ථාන හෝ පැරණි සිද්ධස්ථාන ලෙස නිශ්චිතව සඳහන් නොකිරීම හරහා වෙනත් ආගමික ස්ථාන සහ කෝවිල් ඉදිවීමටත්, යෝජිත පොදු සේවා කලාප තුළ මත්පැන් අලෙවිසැල් සහ ස්පා බිහිවීමටත් මෙමගින් ඉඩ සැලසෙන බවට ඔහු චෝදනා කළේය. සමස්තයක් ලෙස ථෙරවාද බුදුදහමේ හදවත බඳු අනුරාධපුරයේ ඓතිහාසික හා සංස්කෘතික අනන්‍යතාවය අනතුරේ වැටී ඇති බව ඔහුගේ ප්‍රකාශයේ හරය විය.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් හුදෙක් ගැසට් නිවේදනය වැරදි ලෙස අර්ථකථනය කිරීමක් බව රජයේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව (NPPD) නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේය. කිසිදු නව ආගමික ස්ථානයක් ඉදිකිරීමට හෝ බැතිමතුන්ට බාධා කිරීමට මෙම සැලැස්මෙන් බලාපොරොත්තු නොවන බව ඔවුන් පැහැදිලි කර ඇත. මේ අතර, ජාතික බුද්ධිමත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රියාකාරිකයෙකු මෙන්ම හිටපු ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක සහ රජරට විශ්වවිද්‍යාලීය හඬ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන විශ්‍රාමික ගණකාධිකාරී දීපාල් තිලකරත්න යන මහත්වරුන් විසින් ගම්මන්පිල මහතාට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.
භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මුල්කරගෙන මතුව ඇති මතභේදාත්මක පසුබිමක් තුළ, බෞද්ධයන් අතර ආගමික නොසන්සුන්තාවක් ඇති කර මහජන සාමය කඩකිරීමට අදාළ ප්‍රකාශයන් හේතු විය හැකි බව පවසමින් ඔවුන් මෙලෙස අපක්ෂපාතී පරීක්ෂණයක් සහ නෛතික පියවර ඉල්ලා සිටියි.
මෙම දේශපාලනික සහ නෛතික ගැටුමෙන් ඔබ්බට ගිය විට, භූමියේ සැබෑ තත්ත්වය මනාව පැහැදිලි වේ. මතභේදයට තුඩු දී ඇති සංවර්ධන සැලැස්මේ ප්‍රධාන අරමුණක් වන්නේ, පැරණි නගරය හෙවත් බටහිර අනුරාධපුරයේ පධානඝර, රජ මාලිගා සහ ඇතුළු නුවර භූමිය නවීන තාක්ෂණය යොදාගෙන විධිමත් කැණීම්වලට ලක් කර අතීත ශ්‍රී විභූතිය මතු කිරීමයි. විශේෂත්වය වන්නේ, මෙම ප්‍රධාන කැණීම් කලාපය පූජා නගරයෙන් කිලෝමීටර් දෙක තුනක් පමණ බැහැරව පිහිටා තිබීමයි. සංඝමිත්තා මාවත සහ අනුලා මාවත කේන්ද්‍ර කරගත් මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් බැතිමතුන් ගැවසෙන කලාපයක් නොවන අතර, එහි ක්‍රිස්තු පූර්ව 300ට ද එහා ගිය අතිශය වැදගත් පුරාවිද්‍යාත්මක නටඹුන් පවතී. කාලි කෝවිලේ නටඹුන් සහ අනෙකුත් කෝවිල් පිහිටා ඇත්තේ මීට සම්බන්ධයක් නොමැති නුවර වැව අසලය.
සංවිධානාත්මක විරෝධතාවල සැබෑ යටි අරමුණ මතුවන්නේ මෙම ඓතිහාසික භූමිය ආශ්‍රිතව සිදුව ඇති අක්‍රමිකතා නිරීක්ෂණය කිරීමේදීය. අතීත නුවර ප්‍රාකාරය මත මෙන්ම මෙම කලාපය තුළ අනවසර පදිංචිකරුවන් රැසක් නිවාස ඉදිකරගෙන සිටින අතර, ඇතැමුන් පසුගිය ආණ්ඩු සමයන්හිදී දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් විවිධ බලපත්‍ර පවා සකසාගෙන තිබේ. නව කැණීම් සහ සංරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක වුවහොත් මෙම පිරිසට අදාළ භූමිවලින් ඉවත්වීමට සිදුවන බැවින්, තම අනවසර නිවාස සහ ඉඩම් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම විරෝධතා ඇටවූ බවට චෝදනා එල්ල වේ. පුරාවස්තු කැලයට යටවන්නට හැර එම ඉඩම් අත්පත් කරගනිමින් සිටින පිරිස් මීට සම්බන්ධ වන අතර, බලංගොඩ කස්සප වැනි භික්ෂූන් වහන්සේලාගේ ප්‍රකාශයන් පවා මීට සමගාමීව එළියට පැමිණීම මෙහි එක් සබැඳියාවක් බව පෙනෙන්නට තිබේ.
මීට දෙවසරකට පෙර මෙම භූමිය ගවේෂණය කිරීමේදී පධානඝර දෙකක් පමණක් යම්තාක් දුරට සංරක්ෂණය කර තිබූ අතර, සෙසු නටඹුන් කැලයට යටවී පැවතිණි. එහිදී සිදුකළ ගවේෂණ මඟින් බටහිර ආරාම සංකීර්ණය පිළිබඳව පැවති මතවාද බිඳ හෙළමින්, ඒවා ක්‍රිස්තු පූර්ව 600 දක්වා පැරණි රජමාලිගා නටඹුන් බවට හඳුනාගෙන ජනගත කරන ලදී. ඉන්පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොඩනැගිලි පාදම් පිහිටි බිමේ කැලෑව එළිපෙහෙළි කර තිබුණි.
මෙම සත්‍යය ඉතිහාසය මතු වීම වළක්වාලීම විරෝධතාවල තවත් එක් ප්‍රධාන අරමුණකි. දේශපාලනඥයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අතකොළු බවට පත්ව සිටින ඇතැම් කණ්ඩායම්, සාමාන්‍ය බෞද්ධයන් මුලා කරමින් ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවා හරිමින් සිටින බවට විවේචන එල්ල වේ. අනුරාධපුරය ලෝක උරුමයක් බවට පත්වීමේ ගමනට බාධා පමුණුවමින්, පුරාවිද්‍යා ගවේෂණයන්ට සහ සංරක්ෂණ කටයුතුවලට එරෙහිව දරන මෙම සංවිධානාත්මක උත්සාහය, හුදෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැදගත්ම භූමියක් අඛණ්ඩව කොල්ලකෑමට දරන තවත් එක් වෑයමක් බව මේ හරහා ගම්‍ය වේ. පාරදෘශ්‍ය භාවයකින් යුතුව කෙරෙන පුරාවිද්‍යා ගවේෂණයන්ට ජාති ආගම් භේදයකින් තොරව සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත්තේ එබැවිනි.
පූජා භූමි නව සංවර්ධන සැලැස්මට අදාළ පීඩීඑෆ් එක පහතින් බලන්න