the-tragedy-that-occurred-while-returning-to-colombo-for-diwali

දීපවාලි උත්සවය වෙනුවෙන් කොළඹ සිට සිය නිවෙස් බලා යමින් සිටි පිරිසකගේ ගමනාන්තය වරකාපොළ මාහේන ප්‍රදේශයේදී ඛේදවාචකයකින් නිමාවට පත්වූයේ මහ වැසි මැද ඇසුණු බිහිසුණු හඬක්ද සමගිනි. කොළඹ සිට පේරාදෙණිය සහ ගලහා ප්‍රදේශ දක්වා ගමන් කරමින් තිබූ මෙම වෑන් රථය, යටිනුවර ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක ගැටීමෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් තරුණියක ජීවිතක්ෂයට පත්විය.




පොලිසිය පවසන පරිදි, මෙම වෑන් රථය සාමාන්‍යයෙන් පේරාදෙණියේ සිට කොළඹට රැකියා සඳහා පැමිණෙන පිරිස් දිනපතා ප්‍රවාහනය කිරීමට යොදවා තිබූවකි. පසුගිය 07 වැනිදා පස්වරු 3.30 ට පමණ තරුණියකද ඇතුළුව එකොළොස් දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගෙන වෑන් රථය කොළඹින් පිටත්ව ඇත්තේ දීපවාලි උත්සවයට ඔවුන්ව නිවෙස් වෙත රැගෙන යාමේ අරමුණෙනි. ගමන අතරතුරදී වරකාපොළ දංඕවිට ප්‍රදේශයේ වෙළඳසැලක් අසල නතර කර දිවා ආහාරය ගත් පිරිස, පස්වරු 4.25 ට පමණ යළිත් පේරාදෙණිය බලා ගමන් අරඹා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ ඉදිරිපස රියැදුරු අසුනට යාබදව ගමන් කර ඇත්තේ එහි හිමිකරු වන 42 හැවිරිදි රජනී රාජේදුන් මහතාය. ඔහු ඒ මොහොතේ අත්දුටු සිදුවීම විස්තර කළේ මෙලෙසිනි.

 "දංඕවිටට ආසන්නව කෑම කාලා ආපසු පේරාදෙණිය බලා පිටත් වුණා. මම රියැදුරු අසුනට අල්ලපු අසුනේ ගමන් කරමින් සිටියා. මට කොහොම හරි නින්ද ගිහිල්ලා තියෙනවා. එක පාරටම වෑන් රථය දඩාස් ගාලා වැදුණා. මට ඇහැරුණා. බලනකොට රියැදුරු මහතා හිරවෙලා ඉන්නවා දැක්කා. එයාගේ පැත්තෙන් බහින්න බැහැ, දොර හිරවෙලා. පස්සේ මම බැහැලා දොර ඇදලා රියැදුරු මහතා එළියට ගත්තා." වෑන් රථය වාහනයක් ඉස්සර කරන්නට යාමේදී ලංගම බසයේ හැපී ඇති බව වාර්තා විය.

අනතුර සිදුවන විට එම ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් පතිත වෙමින් පැවති බව පොලිසිය කියයි. වරකාපොළ අඹේපුස්ස පසුකර මාහේන ප්‍රදේශයට ළඟාවෙත්ම, මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයේ ඔවුන් ගමන් ගත් වෑන් රථය ගැටී තිබේ. කිසිදු අනතුරක් නොමැතිව දිවි බේරාගත් පස්දෙනා සහ අවට නිවෙස්වලින් පැමිණි ප්‍රදේශවාසීන් එක්ව වෑන් රථයේ සිරවී සිටි අය පිටතට ගෙන ඇත. 1990 ගිලන් රථ සේවයටද දැනුම් දීමෙන් පසු තුවාල ලැබූවන් වරකාපොළ රෝහලට පිටත් කර යවා තිබේ. රජනී රාජේදුන් මහතා පවසන්නේ තිදෙනෙකු මියගොස් ඇති බව තමාට දැනගන්නට ලැබුණේ ඉන් පසුව බවයි.




මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ වැල්ඩින් වැඩපොළක සේවය කළ අවිවාහකයෙකු වූ රාජේද්‍රන් ක්‍රිෂ්නන්, සිව්දරු පියෙකු වූ සෝමු සෙබමාලෙයි අරවින්දන් සහ මනෝහරන් වත්සලා නමැති අවිවාහක තරුණියයි. ඔවුන් තිදෙනාම අනතුර සිදුවූ ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, තවත් සිවු දෙනෙකු තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත. අනතුරට ලක්වූ පස් දෙනෙකුට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පැවැසීය.

මියගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පසුගිය 08 වැනිදා වරකාපොළ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය බී.ඒ.ඩී.සී. බාලසූරිය මහතා විසින් සිදු කරනු ලැබීය. රිය අනතුර හේතුවෙන් හිසට සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව තිබුණු හානි මෙම මරණවලට හේතුව බව වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා තීන්දු කළේය.



අනතුරට සම්බන්ධ ලංගම බස් රථයේ රියැදුරු වන හසලක, අංක 50 පාසල් මාවතේ පදිංචි 44 හැවිරිදි දොඹගහගොඩ ගෙදර ලලන්ත සම්පත් කුමාර කුල රත්ත නමැත්තා 08 වැනිදා වරකාපොළ තුල්ගිරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
මෙම අනතුර සිදුවන්නට පෙර කණ්ඩායමේ සිටි වෑන් හිමිකරු ගමන අතරතුරදී ලබාගත් සෙල්ෆී වීඩියෝවක් ටික්ටොක් මාධ්‍ය වේදිකාවට මුදාහැර තිබූ අතර එම අවස්ථාවේ සියල්ලන් සතුටින් විනෝදයෙන් ගමන් කරනු පෙනිණි.

gossiplanka image