දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබූ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ’ ඇතුළත් වූ මතභේදාත්මක විධිවිධාන හයක් සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා මෙම දැනුම් දීම සිදු කළේය.
නීතිපතිවරයාගේ මෙම දැනුම්දීමට අනුව පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇති ප්‍රධාන විධිවිධාන අතරට වරෙන්තුවක් නොමැතිව නිවාස සෝදිසි කිරීමේ බලය, සුරාබදු වැරදි සහ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ බලය මෙන්ම බරපතළ අපරාධ වාර්තාකරණය සඳහා අවසර ලබාගැනීමේ අවශ්‍යතාව ද ඇතුළත් වේ. මීට අමතරව, සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස පච්ච ලකුණු සිරුරේ කොටා ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා වූ ප්රතිපාදනය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, සැකකරුවකු පොලිස් භාරයේ රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කර ඇත. වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීම ඉවත් කර ඒ වෙනුවට සෝදිසි වරෙන්තුවක් සහිතව නිවසක් සෝදිසි කිරීමේ විධිවිධානයක් ඊට ඇතුළත් කර තිබේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදී අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, පනතේ සිදුකෙරෙන සංශෝධන අතුරින් වැදගත්ම විය යුත්තේ රැඳවුම් නියෝග සහ ඇපදීම පිළිබඳ ප්‍රතිපාදන වුවද, මුලින් ඉදිරිපත් කළ කරුණු අතර ඒ පිළිබඳ කිසිවක් සඳහන් නොවූ බවයි. මෙම තර්කය කෙරෙහි අවධානය යොමු කළ අගවිනිසුරුවරයා, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ කටයුතු පැයක කාලයකට කල් තැබීමට පියවර ගත්තේය.
පැයකට පසු යළි අධිකරණය රැස්වූ අවස්ථාවේදී පනතේ සංශෝධන පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කළ සොලිසිටර් ජනරාල්වරයා, මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීම බව අවධාරණය කළේය. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පැරණි ක්‍රමවේද යල්පැන ගොස් ඇති බැවින්, එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුකූලව සිංගප්පූරුව වැනි රටවල ද ක්‍රියාත්මක වන ආකාරයේ නවීන අදහස් සහ ක්‍රමවේද මෙමගින් හඳුන්වා දෙන බව හෙතෙම පැහැදිලි කළේය. අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට මෙන්ම මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් උපදෙස් ලබාගැනීමට ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පුද්ගලයින් සිව්දෙනකු එක්ව සාකච්ඡා කළ පමණින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පනත හරහා නිර්මාණය වන බවට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ කරුණට ද සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පිළිතුරු දුන්නේය. එවැනි පිරිසක් අත්අඩංගුවට ගැනෙන්නේ ඔවුන් සංවිධානාත්මක අපරාධයක් කිරීමේ අරමුණින් කටයුතු කරන්නේ නම් පමණක් බවත්, මාෆියා කල්ලි වැළැක්වීමට මෙයින් ඉඩ සැලසෙන බවත් ඔහු කියා සිටියේය.
එසේම, රැඳවුම් නියෝග යටතේ පුද්ගලයකු රඳවාගත හැක්කේ මාස දෙකක් පමණක් බවත්, එම කාලය තවදුරටත් දීර්ඝ කරන්නේ නම් මහාධිකරණ විනිසුරුවරයකුගේ අභිමතය ලබාගැනීම අනිවාර්ය කර ඇති බවත් පෙන්වා දුන් සොලිසිටර් ජනරාල්වරයා, කිසිදු විටෙක මෙමගින් අධිකරණ බලය හෑල්ලුවට ලක්වී නොමැති බව තහවුරු කළේය. පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය. යම් අපැහැදිලි හෝ පැටලිලි සහගත තත්ත්වයක් පවතින්නේ නම් ඒවා ලිඛිත දේශන හරහා පැහැදිලි කිරීමට පියවර ගන්නා බව ද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින්, එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් සහ විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඩිස්ටිලරිස් සමාගම ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සංජීවි ජයවර්ධන, සාලිය පීරිස්, එටී.ඒ. සුමන්තිරන්, ඉරාජ් සිල්වා, අලි සබ්රී සහ නවීන් මාරපන යන මහත්වරුන් ද, නීතිඥවරුන් වන සුරෙන් ඥානරාජ්, ලක්ෂාන් ඩයස්, රුක්ෂාන් සේනාධීර සහ රුවන්ත කුරේ යන මහත්වරුන් ද පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි නේරත්, ආචාර්ය අවන්ති පෙරේරා සහ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, දෙපාර්ශ්වයේ ලිඛිත දේශන මෙම මස 11 වැනිදා ගොනු කරන ලෙස නියෝග කළ අතර, පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයේ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයා වෙත යොමු කරන බව දැනුම් දුන්නේය.