agbo-the-elephant-makes-another-fatal-leap

වන අලියකුගේ ජීවිතයත් මරණයත් අතර තීරණය රැඳී තිබුණේ ඉතා සියුම් මරු වැලක ස්පර්ශය මතය. අනුරාධපුර මිහින්තලේ නොච්චිකුලම ප්‍රදේශයේ බඩඉරිඟු හේනක් ආසන්නයේ සැරිසරමින් සිටි අග්බෝ හස්තියාට එල්ල වී තිබූ මාරාන්තික අනතුරක් වළක්වා ගැනීමට වනජීවී නිලධාරීහු පසුගිය අටවැනිදා සමත් වූහ.

ඒ, හස්තියාට ආසන්නයේම අටවා තිබූ බඳින තුවක්කුවක් නිලධාරීන්ගේ සූක්ෂම මෙහෙයුමකින් සොයාගැනීමත් සමඟය.




අනුරාධපුර වනජීවී කලාපයට අයත් තිරප්පනේ වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් මෙම මෙහෙයුමට මුල් විය. නොච්චිකුලම වැව සහ බඩඉරිඟු වගාවක් සහිත හේනක් අවට ප්‍රදේශයේ අග්බෝ ඇතා ගැවසෙන බව නිරීක්ෂණය කළ වනජීවී නිලධාරීන් එම ප්‍රදේශය දැඩි සෝදිසියකට ලක් කළහ. එහිදී එක් වනජීවී නිලධාරියෙකුගේ සිරුරේ බඳින තුවක්කුවකට අයත් මරු වැලක් අහඹු ලෙස ස්පර්ශ විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරී කණ්ඩායම ඉතා ආරක්ෂාකාරී ලෙස එම මාරක බඳින තුවක්කුව නිෂ්ක්‍රීය කරමින් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගත්හ.

වනජීවී නිලධාරීන් පවසන පරිදි, බඳින තුවක්කුව අටවා තිබූ ස්ථානය ආසන්නයේම ගැවසෙමින් සිටි අග්බෝ ඇතා මෙම මරු වැලට බොහෝ දුරට බිලිවීමට ඉඩ තිබුණි. වැඩිදුරටත් සිදුකළ පරීක්ෂාවලදී, අග්බෝ ඇතා සිටි ප්‍රදේශය ආසන්නයේ හේනක පැලක් තුළ සැඟව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය. එම අවස්ථාවේදී බඳින තුවක්කු ඇටවීමට යොදාගන්නා උපාංග කිහිපයක්ද ඔහු සතුව තිබී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත.




අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අඩි පහක් පමණ උසින් අලි ඇතුන් ඉලක්ක කර ගනිමින් තමා විසින් මෙම බඳින තුවක්කුව අටවනු ලැබූ බවයි. සැකකරු සහ අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තිරප්පනේ ප්‍රදේශයේ නිරන්තරයෙන් සැරිසරන අග්බෝ ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී නිලධාරීන් අඛණ්ඩ මුර සංචාරවල නිරත වෙයි. තිරප්පනේ බීට්ටු කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී, වන සත්ව අඩවි සහකාර බුද්ධික අතුකෝරල මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කරනු ලැබුවේද එම ආරක්ෂිත වැඩපිළිවෙළේම කොටසක් වශයෙනි. කෙසේ වෙතත්, අග්බෝ ඇතාගේ සමීපයෙන්ම මෙවැනි බඳින තුවක්කුවක් හමුවූ දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.



මෙවැනි රහසිගත මාරක උගුල් වන අලින්ට එල්ල කරන්නේ බරපතළ තර්ජනයකි. වනජීවී නිලධාරීන් පෙන්වා දෙන පරිදි, බඳින තුවක්කුවලට ගොදුරු වන අලි ඇතුන්ගේ තුවාල බාහිරින් දැකගත හැකි වන්නේ ඒවා ආසාදනය වීමෙන් පසුවය. ඒ වන විටත් තත්ත්වය බරපතළ වී ඇති බැවින්, එවැනි සතුන්ට ප්‍රතිකාර කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වන බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති. අග්බෝ හස්තියා මෙවර ඒ ඛේදජනක ඉරණමෙන් ගැලවුණේ යාන්තමිනි.