the-murder-mystery-of-the-young-man-who-was-set-on-fire-with-seven-tires-and-was-killed-has-been-solved-thanks-to-a-tip-off

ග්‍රෑන්ඩ්පාස් හි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක පැවති මත්පැන් සාදයක් අවසානයේ 24 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතය අමානුෂික ලෙස උදුරා ගනු ලැබූ පුවතක් මේ වන විට අනාවරණය වී තිබේ. පහරදීමකින් ඝාතනයට ලක්වූ මෙම තරුණයාගේ සිරුර සහ ඔහුගේ යතුරුපැදිය පූගොඩ, පැපිලියවල ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් ටයර් හතක් මත දමා ගිනි තබා විනාශ කිරීමට ඝාතකයින් කටයුතු කර තිබුණි.

එහෙත් එම අමානුෂික අපරාධයේ සියලු සාක්ෂි ගින්නට සහ ජලයට යටපත් කිරීමට ඔවුන් දැරූ උත්සාහය, අවසානයේදී එක් කුඩා සුරයක් හමුවේ නිෂ්ප්‍රභ වී ගියේය.




මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය, සේදවත්ත පාරේ පදිංචිව සිටි කුලන්දැයි ජේසු සේරන් නමැති 24 හැවිරිදි තරුණයෙකි. ඝාතනයෙන් පසු සිරුර පිලිස්සූ ස්ථානයේ තිබී සොයාගත් සුරය, තම පුතුගේ ඉණ බැඳි සුරය බවට ඔහුගේ මව විසින් හඳුනාගැනීමත් සමඟ මෙම ඛේදවාචකයේ සුලමුල තවදුරටත් තහවුරු විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් පැය 48ක රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සහ මළ සිරුර සඟවාලීම පිළිබඳ තොරතුරු රැසක් හෙළි විය. ඔහුගෙන් ලද තොරතුරු මත පූගොඩ සහ අවිස්සාවේල්ල අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගත්තේය. ඒ අනුව පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් කමල් සුමිත් කුමාර මහතාගේ නියෝග මත, පූගොඩ පැපිලියවල කර්මාන්ත ශාලාවක් පිටුපස පිහිටි කැලෑ ප්‍රදේශය දැඩි සෝදිසියකට ලක් කෙරිණි.




වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.ඒ.එස්. රාජපක්ෂ මහතා සහ ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැය පහකට ආසන්න කාලයක් පුරා මෙම ස්ථානීය පරීක්ෂණය සිදු කෙරිණි. එහිදී, තරුණයාගේ සිරුර පිලිස්සීමට යොදාගත් බව කියන ටයර් හතක කම්බි කොටස්, මියගිය තරුණයාගේ ඉණ බැඳි සුරය, ඔහුට අයත් යතුරුපැදියේ ස්විච් යතුර සහ අස්ථි කොටස් කිහිපයක් ද සොයාගැනීමට විමර්ශකයින්ට හැකි විය.

සිරුර සහ යතුරුපැදිය පිලිස්සීමෙන් පසු ඉතිරි වූ අස්ථි සහ යතුරුපැදියේ කොටස් කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත පාලමෙන් කැලණි ගඟට දැමූ බව ප්‍රධාන සැකකරු වැඩිදුරටත් අනාවරණය කළේය. අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත් චම්පා සී. චන්ද්‍රදාස මහත්මියගේ නියෝගයකට අනුව එම ස්ථානයේ ද සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. නාවික හමුදා කිමිදුම්කරුවන් පැය හතරක කාලයක් කැලණි ගඟේ මෙහෙයුම් දියත් කළද, ගඟට දැමූ බව කියන කිසිදු කොටසක් සොයාගැනීමට ඔවුන්ට නොහැකි වූ බව පොලිසිය සඳහන් කරයි.



තරුණයාගේ අතුරුදන් වීමත් සමඟම, මත්පැන් සාදය පැවැත්වූ වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු ඇතුළු පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි. පොලිසිය ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනම් නියෝග ලබාගනිමින් සහ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහාය පතමින් විමර්ශන පුළුල් කළේය. නීතියේ රැහැනින් මිදීම සඳහා ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සිය කොණ්ඩය කොටට කපා වෙස්වළාගෙන සිටි අතර, තමන් විදේශගතව සිටින බවට හැඟවීම සඳහා රවුටරයක් භාවිතා කරමින් දුරකථන ඇමතුම් ලබාදීමට තරම් ඔවුන් සූක්ෂම වී තිබිණි.

එහෙත් ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය. අපරාධයේ සියලු සාක්ෂි ගිනිබත් කර ගඟක පතුලට සඟවා දැමීමට ඔවුන් උත්සාහ කළද, අවසානයේදී ඉණ බැඳි කුඩා සුරයකින් සහ යතුරුපැදියේ ස්විච් යතුරකින් සැඟවුණු සත්‍යය යළි මතු වී තිබේ.