the-fraud-committed-by-the-fake-doctor-and-the-real-doctor-is-revealed-in-court

වෙද නලාවක්, වෛද්‍ය ඇඳුම් සහ වාහනයේ ප්‍රදර්ශනය කරන වෛද්‍ය ලාංඡනයක් යනු වෛද්‍ය වෘත්තියේ අනන්‍යතාව පෙන්නුම් කරන සංකේතයන්ය. එහෙත් එම සංකේතම උපයෝගී කරගනිමින් ව්‍යාජ වෛද්‍යවරියකට සැබෑ වෛද්‍යවරියක ලෙස පෙනී සිටීමට ආධාර අනුබල දුන් බවටත්, අගරු චෙක්පත් නිකුත් කර රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බවටත් චෝදනා ලැබ පොලිසිය මගහැර පලාගොස් සිටි රජයේ රෝහලක වෛද්‍යවරියක ඊයේ (23) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.




කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන බව කියන මෙම වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවෙන් මිදී ප්‍රදේශයෙන් පලාගොස් සිට ඇති අතර, ඊයේ දිනයේ නීතිඥවරයකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිට ඇප ඉල්ලා සිටියාය.

මෙම මූල්‍ය වංචාව පිටුපස විදේශ රටවලින් ආයුර්වේද ආලේපන මෙරටට ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පැවති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය. සැකකාර වෛද්‍යවරිය සහ ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාව එක්ව මෙම ව්‍යාපාරයේ නිරතව සිට ඇති අතර, ඒ සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් මුදල් ලබාගෙන වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවට සැබෑ වෛද්‍යවරියක මෙන් පෙනී සිටීමට අවශ්‍ය වෙද නලාවක්, වෛද්‍ය ඇඳුම් සහ වාහනයේ ප්‍රදර්ශනය කිරීම සඳහා වෛද්‍ය ලාංඡනයක් ඇතුළු දෑ ලබාදෙමින් රජයේ වෛද්‍යවරිය ඇයට සහාය වී ඇති බවද එහිදී හෙළිවිය.




අදාළ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබා දුන් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ 95ක සහ රුපියල් ලක්ෂ 22ක වටිනාකමින් යුත් චෙක්පත් දෙකක් නිකුත් කර තිබුණද, එම චෙක්පත් දෙකම අගරු වී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාව මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින බවද අධිකරණයේදී ප්‍රකාශ විය.

සැකකාර වෛද්‍යවරියට එල්ල වී ඇති චෝදනා මෙම මූල්‍ය වංචාවට පමණක් සීමා වී නොමැත. වෛද්‍ය සභාවේ හෝ අදාළ වෛද්‍ය අධිකාරිවරයාගේ නිර්දේශයකින් තොරව විදේශගතවීම මගින් රජයේ මුදල් අවභාවිත කළ බවටද ඇයට එරෙහිව තවත් චෝදනාවක් එල්ල වී තිබේ.



අධිකරණයේදී සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙනිවල මහතා පෙනී සිටිමින් කරුණු දැක්වූ අතර, පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුසන්තා කරුණාරත්න මහත්මිය පෙනී සිටියාය. හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය සැකකාරියට ඇප ලබා දීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය, සැකකාර වෛද්‍යවරිය රුපියල් ලක්ෂ 25ක සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළාය. එමෙන්ම ඇයට විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියම කළාය.

හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ධම්මික නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන සංජීව (71385), අසංක (71389), ජයන්ත (58683) සහ සුභසිංහ (70604) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති. මෙම නඩුව ජනවාරි 11 වැනිදා යළි කැඳවීමට නියමිතය.