police-si-who-raped-16-year-old-girl-gets-50-years-in-prison

නීතිය ආරක්ෂා කිරීමටත්, අසරණ වූවන්ට පිහිට වීමටත් බැඳී සිටින පොලිස් නිල ඇඳුමම අවියක් කරගනිමින්, වයස අවුරුදු දාසයට අඩු පාසල් සිසුවියක රවටා අපහරණය කර බරපතළ ලෙස දූෂණය කළ විවාහක උප පොලිස් පරීක්ෂකවරයකුට කුරුණෑගල මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර පනහක සිරදඬුවමක් නියම වී තිබේ. වයඹ පළාත්බද පූර්වගාමී මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තීන්දුවට අනුව, අමරසිංහ හේවගේ රුවන් අමරසිංහ නමැති මැදිවියේ පසුවන විත්තිකරුට නියම කළ වසර පනහක සිරදඬුවම වසර පහළොවකින් එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කළ යුතුය.




සිරදඬුවමට අමතරව වින්දිත තරුණියට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසද විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේය. එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිරදඬුවමක් විඳීමට සිදුවේ. ඊට අමතරව ඔහු වරදකරු කරනු ලැබූ අධිචෝදනා හතරට වෙන් වෙන් වශයෙන් රුපියල් පනස්දහස බැගින් දඩ මුදල් ගෙවීමටද නියම කෙරුණු අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම අපරාධයේ පසුබිම දිගහැරෙන්නේ වින්දිත දැරියට සිදුවූයේ යැයි කියන තවත් පීඩාවක් සම්බන්ධයෙන් යුක්තිය සොයා ගිය ගමනක ප්‍රතිඵලයක් ලෙසිනි. මව විදේශගතව සිටීම හේතුවෙන් සිය මිත්තනිය භාරයේ හැදී වැඩුණු මෙම බාලවයස්කාර සිසුවියට අසල්වැසියකුගෙන් සිදුවූයේ යැයි කියන ලිංගික අතවරයක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. එවකට ඇය පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ විත්තිකාර උප පොලිස් පරීක්ෂකවරයා එම පැමිණිල්ලේ විමර්ශන භාර නිලධාරියා ලෙස කටයුතු කළේය. විමර්ශන කටයුතු සිදු කරන මුවාවෙන් නිවසට පැමිණි ඔහු, දැරියගේ පියා සමඟ සමීප හිතවත්කමක් ගොඩනගා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව වැඩිහිටියන් නිවසේ නොමැති අවස්ථා බලා නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමෙන්ද සැරසී ඔහු එම නිවසට පැමිණ ඇති බව නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මගින් අනාවරණය විය.




ඒ වන විට මෙම පාසල් සිසුවිය ඇසුරු කළ ඇගේ පෙම්වතා සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබිණි. විත්තිකාර නිලධාරියා සිය බලය හා අවස්ථාව භාවිත කළේ එතැන් සිටය. පෙම්වතා එම නඩුවෙන් බේරාදීමට නම් තමා සමඟ ලිංගික ඇසුරක් පැවැත්විය යුතු බවට ඔහු දැරියට යෝජනා කර තිබේ. එක් දිනක් රාත්‍රී අටට පමණ ඇගේ නිවසට පැමිණි විත්තිකරු, විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවක ඇයව ඇගේ කාමරයට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බව සාක්ෂිවලින් හෙළි විය.

එයින් නොනැවතුණු ඔහු, පෙම්වතා ඉක්මනින් මුදාහැරීමට පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් විටින් විට නිවසට පැමිණ ඇය සමඟ ලිංගික ඇසුරක යෙදී තිබේ. ඇතැම් අවස්ථාවලදී නිල ඇඳුමෙන්ම ඇගේ පාසල අසලට පැමිණි විත්තිකරු, පාසල් නිල ඇඳුමින් සැරසී සිටි දැරිය යතුරුපැදියේ නංවාගෙන සිය නිවසට රැගෙන ගොස් ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය විය. එලෙස අවස්ථා කිහිපයකදීම ඇය සිය නිවසට පමණක් නොව, වෙනත් ප්‍රදේශවල පිහිටි සංචාරක නිකේතන වෙතද රැගෙන ගොස් තිබූ බව සාක්ෂි මගින් තහවුරු වී ඇත.



කාලයක් තිස්සේ රහසිගතව සිදුවූ මෙම අපරාධය ලෝකයට අනාවරණය වූයේ දැරියගේ පාසල් මිතුරියන්ගේ විමසිලිමත්භාවය නිසාය. ඇය නිරතුරුවම පාසල් නොපැමිණෙන බව නිරීක්ෂණය කළ මිතුරියන් ඒ පිළිබඳව ඇගේ පියාට දැනුම් දීමත් සමඟ සිද්ධියේ සුලමුල හෙළිදරව් විය. පසුව අධිකරණ නියෝග මත වින්දිත දැරිය ළමා නිවාසයක රඳවා තැබීමට පියවර ගැනිණි.

ඒ වන විට දුරබැහැර ප්‍රදේශයක පොලිස් ස්ථානයකට මාරු කර යවා සිටි විත්තිකරු, දැරිය ළමා නිවාසයේ සිටියදීත් ඇය සොයා පැමිණීමට තරම් උත්සාහ ගෙන තිබිණි. ඇය එළිමහනේ දිය නාමින් සිටි අවස්ථාවක ළමා නිවාසයේ තාප්පයේ තිබූ කුඩා සිදුරකින් මඤ්ඤොක්කා ලීයක ඇමුණූ ලිපියක් ඇය වෙත යොමු කිරීමට ඔහු කටයුතු කර තිබේ. තම සබඳතාව පිළිබඳ සැබෑ තොරතුරු පොලිසියට හෝ වෙනත් කිසිවකුට හෙළි නොකරන ලෙසත්, ඇය කොතැනක සිටියත් තමා ළඟට ගන්නා බවත් ඔහු එම ලිපිය මගින් දන්වා තිබූ බව නඩුවේදී අනාවරණය විය.

වින්දිත බාලවයස්කාර දැරිය රවටා නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙන ගොස් අපහරණය කර දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 384 වගන්තිය සහ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 364(2)(ඉ) වගන්ති ප්‍රකාරව විත්තිකරුට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා හතරක් ගොනු කර තිබිණි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු පිරිසක් මෙහි සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.

ඉදිරිපත් වූ සියලු සාක්ෂි සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා දීර්ඝ ලෙස සලකා බැලූ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර ඇති අධිචෝදනා හතරම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි. විමර්ශන නිලධාරියකු ලෙස දැරියගේ නිවසට පිවිසි ගමන, වසර පනහක සිරදඬුවමක් හිමිවන අධිකරණ තීන්දුවකින් මෙලෙස නිමාවට පත් විය.