උපාධි ප්රදානෝත්සවයකදී මුලසුනේ අසුන්ගෙන සිටිමින් සියලුම සිසු සිසුවියන්ට උපාධි සහතික පිරිනැමීම සාමාන්‍ය සම්ප්රදායකි. එහෙත් රුහුණ විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවයේදී එක් සුවිශේෂී සිසුවියක වේදිකාවට පැමිණි මොහොතේ එම සම්ප්රදාය වෙනස් විය.
අනෙකුත් සියලු දෙනාට අසුන්ගෙන සිටිමින් උපාධි සහතික පිරිනැමූ විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ග මහා පණ්ඩිත ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් ඇය වෙනුවෙන් පමණක් සිය අසුනින් නැගී සිට උපාධි සහතිකය පිරිනැමීය. විද්වතුන් ඇතුළු සියලු දෙනාගේ අත්පොළසන් හඬ මැද එම ගෞරවයට පාත්‍ර වූයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම අවසන් කර සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය දිනාගත් 27 හැවිරිදි තරුෂා කව්මින්දි හේවා පතිරණයි.එම මොහොත සමාජ මාධ්‍ය ඔස්සේ මුළු රටේම අවධානය දිනාගන්නට සමත් වූයේ තරුෂිගේ අසාමාන්‍ය කැපවීම නිසා පමණක් නොවේ. ඇය විසින් ඉබේම අසුනින් නැගිටවනු ලැබුවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති, සිංහල ශබ්ද කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මෙන්ම මියන්මාර් රජය පිරිනමන උසස්ම ගෞරව නාමය වන අග්ග මහා පණ්ඩිත නාමයෙන් පිදුම් ලද යතිවරයාණන් වහන්සේ නමක වීමද ඊට හේතු විය. ඒ අනුව තරුෂිගේ හැකියාව මෙන්ම අකුරැටියේ නන්ද නාහිමියන්ගේ සංවේදී බව සහ නිහතමානීත්වය පිළිබඳවද රට පුරා කතාබහක් නිර්මාණය වී තිබේ.
ගතින් වාරු අඩු වුවත් සිතේ ශක්තියෙන් උපාධි සිහිනය ජයගත් තරුෂිගේ ජීවිත ගමන ආරම්භයේ සිටම අභියෝගවලින් පිරුණු එකක් විය. දෙනිපිටිය, වට්ටියදුව ප්‍රදේශයේ පදිංචි ඇය උපතින්ම ආබාධිත තත්ත්වයට පත්ව ඇත්තේ මෙලොව එළිය දකින අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතින් සිදු වූ අත්වැරදීමකින් බව ඇගේ දෙමාපියෝ පවසති. වසර පහක් පමණ ඇවිදීමට හෝ නොහැකිව සිටි ඇය මේ වන විට ක්‍රමයෙන් ඇවිදීමට හුරු වී සිටියද, ස්නායු හා අත පය ආබාධ නිසා ආහාර පාන කැවීම පෙවීම ඇතුළු සියලු එදිනෙදා කටයුතු සඳහා ඇයට තවත් කෙනකුගේ සහාය අවශ්‍ය වේ.
එවැනි ශාරීරික දුෂ්කරතා මැද වුවද ඇය අධ්‍යාපන ගමන අත්හැරියේ නැත. පළමු වසරේ සිට හත වසර දක්වා නිදංගල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය, ඉන් අනතුරුව උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේය. හරි හැටි අකුරු ලිවීමට තරම් දෑත් ශක්තිමත් නොවීම හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරය මත ප්‍රශ්නවලට වාචිකව පිළිතුරු ලබාදීමට ඇයට අවස්ථාව හිමි විය. එහිදී විභාග රාජකාරියේ නිරත නිලධාරියකු ඇගේ පිළිතුරු සටහන් කරගන්නා අතර, ඊට අමතරව එම අවස්ථාව වීඩියෝගත කිරීමද සිදු කෙරේ. තරුෂිගේ කටින් පිටවන වචන පවා එතරම් ශක්තිමත් හා පැහැදිලි නොවුණද, පාඩම් හොඳින් පාඩම් කරගනිමින් සාර්ථකව විභාගවලට මුහුණ දීමට ඇය සමත් වූවාය.
තරුෂිගේ මෙම ජයග්‍රහණය පිටුපස ඇගේ පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරු මිතුරියන්ගේ නොමඳ කැපවීමද තිබේ. ඇගේ පියා වන 62 හැවිරිදි බන්දුල හේවා පතිරණ මහතා විශ්‍රාමික ගුරු උපදේශකවරයෙකි. තම දියණිය විශ්වවිද්‍යාලයට කැඳවාගෙන යාමට සහ නැවත නිවසට කැඳවාගෙන ඒමට කාලය වැය කළ යුතු නිසාම ඔහු නියමිත කාලයට වසරකට පෙර සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ. ඇගේ මව වන 62 හැවිරිදි එච්.කේ.කේ. පද්මිණී මහත්මිය විශ්‍රාමික ගුරුවරියක වන අතර, එකම සහෝදරිය වන 21 හැවිරිදි ඒෂානි කෞමින්දි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබයි. නිවසේදී මවට හා පියාටත් වඩා වැඩි වැඩ කොටසක් තරුෂි වෙනුවෙන් ඉටු කර ඇත්තේ ඇගේ නැන්දා වූ චන්ද්‍රානි හේවා පතිරණ මහත්මියයි. එමෙන්ම විශ්වවිද්‍යාලය තුළදී ඇයට ආහාර කැවීම හා පෙවීම ඇගේ හොඳම මිතුරියන් වූ පියුමි සහ තාරිකා ඇතුළු සහෝදර සිසු සිසුවියන් අතින් නොපිරිහෙලා ඉටු වී තිබේ.
උපාධිය දිනාගැනීමෙන් ඇගේ ගමන අවසන් වන්නේ නැත. තරුෂිගේ අනාගත බලාපොරොත්තුව වන්නේ මනෝ උපදේශිකාවක ලෙස රටට සේවයක් කිරීමයි. ඒ වෙනුවෙන් ඇය දැනටමත් ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරමින් සිටින අතර, ඊට අමතරව ධනාත්මක චින්තනය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වාගෙන යයි. ගතේ සවියට වඩා සිතේ සවියෙන් ජීවිතය ජයගත් තරුෂිට මේ වන විට මුළු රටෙන්ම සුබපැතුම් ගලා එමින් පවතී.