tax-official-who-took-bribe-to-understate-annual-tax-assessment-sentenced-to-16-years-in-prison

දශක හතරක් පුරා රාජ්‍ය සේවයේ නිරතව සිට, මේ වන විට වයෝවෘද්ධව රෝගාබාධ රැසකින් පීඩා විඳින හිටපු බදු තක්සේරුකරුවකුට වසර පහළොවකට පෙර සිදු කළ අල්ලස් ගනුදෙනුවක ප්‍රතිවිපාක ඊයේ (20) කොළඹ මහාධිකරණයේදී අත්විඳීමට සිදු විය. වාර්ෂික බදු මුදල් අඩුවෙන් තක්සේරු කර දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක් ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ හිටපු තක්සේරුකරු ආර්.එම්.

අනුරුද්ධ අබේරත්නට වසර දහසයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම විය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් ප්‍රකාශයට පත් කළ මෙම තීන්දුවට අනුව, ඔහුගේ ප්‍රජා අයිතිය ද අහෝසි කිරීමට නියම කෙරිණි.




මෙම අල්ලස් සිද්ධියේ මුල 2011 වසර දක්වා දිවයයි. එකල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ තක්සේරුකරුවකු ලෙස රාජකාරි කරමින් සිටි විත්තිකරු, අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එරන්ද උපුල්දෙණිය නමැත්තාගෙන් වාර්ෂිකව අයකළ යුතු බදු මුදල් අඩුවෙන් තක්සේරු කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා තිබේ. ඉන් රුපියල් 3,75,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.

මෙම අල්ලස් මුදල් අයැදීම සම්බන්ධයෙන් අබේරත්න සමග උෂාන් ජලීලා බෙගම් නමැත්තියට එරෙහිව ද අල්ලස් කොමිසම චෝදනා නඟා තිබුණද, නඩුව කැඳවූ මුල් අවස්ථාවේදීම ඇය වරද පිළිගැනීම හේතුවෙන් 2019 වසරේදී ඇයට දඬුවම් නියම විය. එහෙත් අබේරත්න තමා නිවැරදිකරු බව ප්‍රකාශ කිරීම නිසා ඔහුට එරෙහි නඩු විභාගය දීර්ඝ කාලයක් පුරා ඇදී ගියේය.




දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට විනිසුරුවරයා තීරණය කළේය. දඬුවම් ලිහිල් කර ගැනීමට කරුණු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දුන් අවස්ථාවේදී, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ වසර හතළිහක් පුරා රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කළ තම සේවාදායකයා මේ වන විට වයෝවෘද්ධව රෝගාබාධ රැසකින් පීඩා විඳින බැවින් ඔහුට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසයි.

එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊට දැඩි ලෙස කරුණු දැක්වීය. මහජනතාවගෙන් රජයට ලැබිය යුතු ආදායම් අයකර ගැනීමේ ප්‍රධානතම ආයතනයේ නිලධාරියකු ලෙස විත්තිකරු රාජකාරි කර ඇති බව පෙන්වා දුන් ඔවුහු, අල්ලස් ගැනීම මේ වන විට සමාජයේ පිළිලයක් වී ඇති බවත්, රාජ්‍ය සේවකයන් මේ ආකාරයෙන් අල්ලස් ගැනීම නිසා රට වත්මන් තත්වයට ඇද වැටී ඇති බවත් අධිකරණය හමුවේ අවධාරණය කළහ. අල්ලස් ගැනීමට සිතා සිටින අනෙකුත් රාජ්‍ය සේවකයන්ට ද පාඩමක් වන පරිදි විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන ලෙසත්, අල්ලස් පනතේ ප්‍රතිපාදන යටතේ ඔහු ලබාගත් අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස ආපසු අයකර ගැනීමට නියෝග කරන ලෙසත් පැමිණිල්ල ඉල්ලා සිටියේය.



සියලු කරුණු සලකා බැලූ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අධිකරණය අමතමින්, මහජනතාවගෙන් බදු මුදල් අයකර ගැනීමේ ප්‍රධානතම ආයතනය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු මුදල් නොගෙවූ අවස්ථාවකදී එම ආයතනයෙන් ජනතාවට අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදුවන බව පෙන්වා දුන්නේය. එවැනි ආයතනයක නිලධාරියකු ලෙස කටයුතු කළ විත්තිකරු සම්බන්ධයෙන් ලිහිල් ආකාරයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් නොමැති බව අවධාරණය කළ විනිසුරුවරයා, චෝදනා හතරෙන් එක් චෝදනාවකට වසර හතර බැගින් වසර දහසයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

කෙසේ වෙතත්, විත්තිකරුගේ රෝගී තත්වයන් සහ වයෝවෘද්ධභාවය සැලකිල්ලට ගනිමින් එම සිරදඬුවම් කාලය වසර හතරකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. ඊට අමතරව, විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 3,75,000ක මුදල දණ්ඩනයක් ලෙස ඔහුගෙන් අයකර ගැනීමටත්, රුපියල් 20,000ක දඩ මුදලකට ඔහු යටත් කිරීමටත් නියම විය. එම දණ්ඩනය සහ දඩ මුදල නොගෙවන්නේ නම්, අමතර මාස දහහතරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් විඳීමට ද ඔහුට සිදුවනු ඇත.