වෙළෙඳපොළෙන් තෝරාගත් ජනප්‍රිය අයිස්ක්‍රීම් සන්නාම ඇතුළු සන්නාම 21ක සාම්පල පරීක්ෂා කිරීමේදී ඒ සියල්ලම අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවන බව අනාවරණය වීමත් සමඟ මෙරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ. නිෂ්පාදන සමාගම් ආහාරවල ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් අයිස්ක්‍රීම් සඳහා 'SLS' (ශ්‍රී ලංකා ප්‍රමිති) සහතිකය අනිවාර්ය කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩිව අවධාරණය කරයි.
වෙළෙඳපොළෙන් ලබාගත් අයිස්ක්‍රීම් සහ ඒ ආශ්රිත නිෂ්පාදන සාම්පල පරීක්ෂා කිරීමේදී සන්නාම 21ම ප්‍රමිතියෙන් තොර බව හෙළි වී ඇති අතර, අදාළ සියලු සමාගම් සහ නිෂ්පාදන පිළිබඳ වාර්තා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය වෙත භාර දී තිබේ. එමෙන්ම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ සමාගම් කැඳවා ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව උපදෙස් සහ දැනුම්දීම් ලබා දීමට ද පියවර ගෙන ඇත.
මෑතකදී නීතිමය පියවර ගත් බින්ග් චුන් විදේශීය අයිස්ක්‍රීම් අලෙවිසැල ද මෙම සාම්පල පරීක්ෂාවේදී හඳුනාගත් ආයතන අතර වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවාය. දැනටමත් දැනුම්දීම් කර ඇති සෙසු සමාගම් ඉදිරියේදී ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීමට අවශ්‍ය පියවර නොගතහොත්, අයිස්ක්‍රීම් සඳහා SLS සහතිකය අනිවාර්ය කරන බව ඇය අවධාරණය කළාය. කෙසේ වෙතත්, SLS සහතිකය ලබා ගැනීම සඳහා නවීන රසායනාගාර පහසුකම්, නිරන්තර පරීක්ෂණ සහ වාර්ෂික ගාස්තු ගෙවීමක් අවශ්‍ය වේ. නිවෙස්වල අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්නන් ඇතුළු සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ඉඩ ඇති බැවින් මෙතෙක් එම සහතිකය අනිවාර්ය කිරීමට පියවර ගෙන නොමැති බව කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.
මෙම ප්‍රමිති ගැටලුව වඩාත් තීව්ර ලෙස කරළියට පැමිණියේ කෙටි කලක් තුළ විශේෂයෙන් තරුණ පිරිස් සහ ළමුන් අතර ජනප්‍රිය වූ විදේශීය අයිස්ක්‍රීම් සහ බීම අලෙවිසැල් ජාලයක් වන 'Bing Chun' ආයතනයට එරෙහිව ගත් නීතිමය ක්‍රියාමාර්ගයත් සමඟය. එහි කොම්පඤ්ඤවීදිය ශාඛාවෙන් ලබාගත් අයිස්ක්‍රීම් සාම්පල කොළඹ මහ නගර සභාවේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් පසු, එම අයිස්ක්‍රීම් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවන බවත් රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු විය. ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බරපතළ සෞඛ්‍ය උල්ලංඝනය කිරීම් යටතේ එම සමාගමට එරෙහිව චෝදනා 28ක් ගොනු කරනු ලැබීය. පසුගිය නොවැම්බර් 13 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී Bing Chun ආයතනය එම චෝදනා 28ටම වරද පිළිගත් අතර, අධිකරණය විසින් සමාගමට රුපියල් 84,000ක දඩයක් නියම කළේය.
ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පෙරමුණේ සිටින නිලධාරීන් වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය. ආහාර ගුණාත්මකභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තරයෙන් සම්බන්ධ වන මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් රසායනාගාර නොමැති වීම බරපතළ අභියෝගයක් බවයි. නව රසායනාගාර පිහිටුවීම සහ ඒවා ආහාර පනත යටතේ ගැසට් කිරීම මේ වන විට අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව ඔහු සඳහන් කළේය. උදාහරණයක් ලෙස, පොල්තෙල්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සතුව රසායනාගාරයක් තිබුණද, මසුන් තුළ රසායනික ද්‍රව්‍ය අඩංගු දැයි පරීක්ෂා කිරීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සතුව රසායනාගාරයක් තිබුණද, එම රසායනාගාර ආහාර පනත යටතේ ගැසට් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස එම රසායනාගාර මගින් නිකුත් කරන වාර්තා නීතිමය කටයුතුවලදී පිළිගනු නොලබන බවත්, රජය මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
1980 අංක 26 දරන ආහාර පනතේ ප්‍රධාන අරමුණ වන්නේ ආහාර නිෂ්පාදනය, ආනයනය, අලෙවිය සහ බෙදාහැරීම නියාමනය කිරීම හා පාලනය කිරීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ද මෙම පනත පදනම් කරගෙනය. දශක හතරකට වඩා පැරණි මෙම පනතේ 13 වැනි වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් බලයලත් නිලධාරීන් ලෙස පත් කර ඔවුන්ට පුළුල් නීතිමය බලතල පවරා ඇත. නරක් වූ, අපිරිසිදු, දූෂිත, කෘමීන්ගෙන් හානි වූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු හෝ සෞඛ්‍යයට අහිතකර ආහාර නිෂ්පාදනය, අලෙවිය සහ බෙදාහැරීම මෙන්ම අපිරිසිදු තත්ත්වයන් යටතේ ආහාර සැකසීම, ඇසුරුම් කිරීම හෝ ගබඩා කිරීම ද මෙම පනතින් තහනම් කර තිබේ. ආහාර පාරිභෝගිකයා අතට පත්වීමට පෙර සිට අවසන් පරිභෝජනය දක්වා වූ සමස්ත ආහාර දාමයම නියාමනය කිරීමටත්, නිෂ්පාදන පරිසරය, ප්‍රවාහනය, ලේබල් කිරීම සහ නොමඟ යවන සුළු වෙළෙඳ දැන්වීම් පාලනය කිරීමටත් මෙම පනතින් හැකියාව ලැබී ඇත. මීට අමතරව ආහාර ආකලන, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, රසකාරක, වර්ණක, ලුණු අයඩීකරණය, ට්‍රාන්ස් මේදය සහ සීනි මට්ටම් වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රෙගුලාසි 30කට අධික සංඛ්‍යාවක් දැනට ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, වෙනස් වන වෙළෙඳපොළ රටාවන් හමුවේ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී නව අභියෝග මතුව ඇති බව සඳුන් රත්නායක මහතා පවසයි. "ආහාර පනත සම්බන්ධයෙන් ඇති ලොකුම අභියෝගය වන්නේ එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සෑම ප්‍රදේශයකම එක හා සමාන නොවීමයි," ඔහු සඳහන් කළේය. මාර්ගගත ආහාර බෙදාහැරීම් (online food delivery), සමාජ මාධ්‍ය ප්‍රචාරණය, ආනයනික සැකසූ ආහාර, ආහාර ප්‍රවර්ධකයින් (food influencers), නව ආහාර වර්ග සහ විශාල ආහාර සැපයුම් ජාල හමුවේ නව අභියෝග නිර්මාණය වී ඇත. ආහාර තවදුරටත් අලෙවි වන්නේ වෙළෙඳසැල් හරහා පමණක් නොවන බවත්, ෆේස්බුක්, ටික්ටොක්, මාර්ගගත වේදිකා සහ බෙදාහැරීමේ සේවා හරහා විශාල වශයෙන් අලෙවි කෙරෙන බැවින් ඩිජිටල් ආහාර වෙළෙඳපොළ පාලනය කිරීමට වඩාත් පැහැදිලි නීතිමය රෙගුලාසි අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.
හුදෙක් ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමෙන් පමණක් ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බව අවධාරණය කරන රත්නායක මහතා, ඒ සඳහා අඛණ්ඩ පරීක්ෂණ, අවදානම් පාදක පරීක්ෂණ ක්‍රමවේදයක් සහ නිරන්තර පසු විපරම් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව කියා සිටී. දැනුවත් කිරීම, වැළැක්වීම, පරීක්ෂා කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම් කිරීම යන සියල්ල එකට ක්‍රියාත්මක විය යුතු බව ඔහුගේ අදහසයි. ඒ අනුව, ආහාර පනත සහ එහි ප්‍රධාන රෙගුලාසි යාවත්කාලීන කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු බලයලත් නිලධාරීන්ට ප්‍රමාණවත් සම්පත් සහ පුහුණුව ලබා දීම, ආහාර පරීක්ෂණ රසායනාගාරවල ධාරිතාව ඉහළ නැංවීම, මාර්ගගත ආහාර ව්‍යාපාර සඳහා පැහැදිලි රෙගුලාසි හඳුන්වා දීම, අවදානම් පාදක ආහාර පරීක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම, පාරිභෝගික පැමිණිලි හැසිරවීමට කඩිනම් ජාතික පද්ධතියක් නිර්මාණය කිරීම, සමස්ත ආහාර දාමය පුරාම පසු විපරම් කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම, පාරිභෝගිකයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ආහාර ලේබල් සරල කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ස්වාධීනත්වය හා ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.