සීගිරිය පර්වතයේ සිදුකර ඇති විදුම් කටයුතු සහ බර යන්ත්‍රෝපකරණ සවිකිරීම හේතුවෙන් එම පර්වතයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ බලධාරීන්ට නියෝග කර තිබේ. 2017 වසරේදී සිදුව ඇති බවට වාර්තා වන මෙම ඉදිකිරීම් හා සංරක්ෂණ කටයුතු පිළිබඳව ඔක්තෝබර් 20 වැනිදා දිනැති පෙත්සමකට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොමිෂන් සභාව මෙම නියෝගය නිකුත් කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය වෙත කොමිෂන් සභාව විසින් මෙලෙස විමර්ශනයක් සිදුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ. ජාතික වැදගත්කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික ත්‍රිකෝණය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල සාමූහික අධීක්ෂණය යටතේ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවට ද කොමිසම අවධාරණය කර ඇත.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ දීමන් ආනන්ද නමැත්තෙකු විසිනි. 2017 වසරේදී සීගිරිය ලෝක උරුම භූමියේ සිදුකෙරුණු සංරක්ෂණ හා සංවර්ධන කටයුතු මගින් පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශ වෙමින් පවතින බව ඔහු සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණි. පර්වතය සිදුරු කර ඇති බවත්, ඊට යන්ත්‍රෝපකරණ සවිකර ඇති බවත්, සිංහපාදය වෙනස් කර ඇති බවත්, පැරණි සෙල්ලිපි ඉවත් කර ඇති බවත් ඔහු සිය පැමිණිල්ල මගින් ප්‍රකාශ කර තිබේ.
පෙත්සම්කරුගේ පැමිණිලි සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් මගින් කරුණු සොයා බැලූ බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. එහිදී භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා පර්වත පාමුල සිට මුදුන දක්වා කේබල් පද්ධතියක් සවිකර ඇති බවත්, ඊට අදාළ උපකරණ පර්වතයට සවිකර ඇති බවත් නිරීක්ෂණය වී ඇත. එමෙන්ම විදුලි උපකරණ භාවිත කරමින් පර්වතය විද ඇති බවත්, පැරණි බදාම සංරක්ෂණය කිරීමේදී නවීන බදාම සහ සිමෙන්ති භාවිත කර ඇති බවත් කොමිසම විසින් සොයාගෙන තිබේ.
මෙම ඉදිකිරීම් සිදුකිරීමේදී නිසි අනුමැතියකින් හෝ නිසි ක්‍රියාපටිපාටියකට අනුව කටයුතු කළ බව තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව කොමිෂන් සභාව නිගමනය කර ඇත. සීගිරියේ වැදගත්ම ස්වාභාවික හා සංස්කෘතික අංගය ලෙස කොමිසම විසින් හඳුන්වා දී ඇති සීගිරි පර්වතයට මේ හරහා හානි සිදුව ඇති බව ද එම තීන්දුවේ සඳහන් වේ. තවද, නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සිදුකරන සංවර්ධන කටයුතු මගින් සංස්කෘතික හා පාරිසරික උරුමයන් සම්බන්ධයෙන් පවතින අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බව ද කොමිසම පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර තිබූ සෙසු චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ පැරණි සෙල්ලිපි ඉවත් කළ බවට වන චෝදනාව තහවුරු කිරීමට පෙත්සම්කරුට නොහැකි වූ බවයි. සීගිරිය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත්තේ ශිලා ලේඛන හතක් පමණක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව ද තීන්දුවේ දැක්වේ.
පුරාවිද්‍යාත්මක ස්ථානවල ඇති වැදගත්කම අවධාරණය කර ඇති මානව හිමිකම් කොමිෂන් සභාව, අදාළ බලධාරීන් හරහා මෙම ගැටලුව විසඳීමටත්, පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඒවායේ වැදගත්කම ආරක්ෂා කිරීමට පියවර ගැනීමටත් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.