sri-lankan-student-briana-miriyagalla-named-after-australia

දක්ෂතාවයට සීමා මායිම් හෝ ජාති භේද නොමැති බව ඔප්පු කරමින්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් ක්‍රීඩිකාවක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ සිය අණසක පතුරුවමින් සිටින්නීය. 2011 වසරේ ශ්‍රී ලංකාවේ උපත ලබා, කටාරය හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බ්‍රියානා මිරියගල්ල මේ වන විට බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අනාගත ක්‍රිකට් බලාපොරොත්තුවක් බවට පත්ව තිබේ.




බටහිර ඕස්ට්‍රේලියාවේ හැරිස්ඩේල් ප්‍රදේශයේ පදිංචිව සිටින බ්‍රියානා, 'Leeming Senior High School' හි 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියකි. ඇයගේ ක්‍රිකට් ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින්, ඇය පසුගියදා බටහිර ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 15 න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට තේරී පත් වූවාය. ඊට අමතරව, සිය දක්ෂතාවයන් තවදුරටත් තහවුරු කරමින් ඇය බටහිර ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 16 න් පහළ බාලිකා ක්‍රිකට් සංචිතයේ අවසන් ක්‍රීඩිකාවන් 16 දෙනා අතරටද තේරී පත්ව සිටින්නීය.

පෙබරවාරි 21 සිට 27 දක්වා බන්බරි හිදී පැවැත්වෙන පාසල් ක්‍රීඩා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ශූරතාවලියට බටහිර ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඇය තරග වැදීමට නියමිතය. ඕස්ට්‍රේලියාව පුරා සිටින සම වයසේ ක්‍රීඩිකාවන් සමඟ තරග කිරීමට ලැබීම සහ මෙම සමස්ත අත්දැකීම ලබාගැනීම සම්බන්ධයෙන් තමා ඉතා උනන්දුවෙන් පසුවන බව ඇය පවසා තිබුණි.




වසර හයකට ආසන්න කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බ්‍රියානා, කණ්ඩායම තුළ ඉදිරිපෙළ පිතිකාරිනියක මෙන්ම පිට දඟ පන්දු යවන්නියක ලෙසද කටයුතු කරන්නීය. බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තේරී පත්වීම සිය ක්‍රීඩා ජීවිතයේ මේ දක්වා ලද ඉහළම ජයග්‍රහණය බව පවසන ඇය, "මෙය මට ගොඩක් වැදගත් අවස්ථාවක්. මීට කලින් මට මෙවැනි අවස්ථාවක් ලැබී නැහැ. ඒ වගේම මෙය නිතරම මට කරන්න අවශ්‍ය වෙලා තිබුණු දෙයක්," යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

ඇයගේ මෙම ක්‍රීඩා ගමනට පවුලෙන් ලැබෙන්නේ සුවිශාල සහයෝගයකි. නිවුන් සහෝදරයෙකු සහ තවත් බාල සහෝදරයෙකු සිටින බ්‍රියානාගේ පවුලේ එම පිරිමි දරුවන් දෙදෙනාද ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙති. ඇගේ දක්ෂතා කැපී පෙනෙන්නට ගත් තවත් සුවිශේෂී අවස්ථාවක් 2022 වසරේදී මෙල්බර්න් නුවරදී වාර්තා විය. එහිදී සම වයසේ පිරිමි ළමුන්ගේ කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළ ඇය එම තරගයේ හොඳම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය.



සිය සාර්ථකත්වයේ ගෞරවය විශේෂයෙන්ම පියාට ලබා දෙන බ්‍රියානාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයගේ පියා වන ප්‍රභාෂ් (ඇන්ඩෲ) මිරියගල්ල තැබූ සමාජ මාධ්‍ය සටහනක ඔවුන් ආ දුෂ්කර ගමන මැනවින් විස්තර කර තිබුණි. "අඩේ අද පට්ටම පට්ට සතුටු දවසක්. අපේ කෙල්ල Brianna Miriyagalla බටහිර ඕස්ට්‍රේලියා වයස 16න් පහළ කාන්තා සංචිතයේ අවසාන 16 තේරිලා. කාලෙකට තේරුණු ලාංකික එකම කෙල්ල. අවුරුදු 10කටත් වැඩි කාලයක් කට්ට කාගෙන, බැණුම අහගෙන අව්වෙ කළුවෙලා කෙල්ල ආපු ගමනේ පට්ටම පිම්මක්. ගමන තව ගොඩක් දුරයි, කමක් නෑ කොහොමහරි පුළුවන් දුරක් යමු," යනුවෙන් සඳහන් කර තිබූ ඔහු, එහිදී අමිල සජීව බදුවසම් නැමැත්තාට ඇයගේ පළමු අනුග්‍රාහකයා වීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතියක්ද පළ කර තිබුණි.

එසේම ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත සිය පවුලේ අදහස් දක්වමින් ඇගේ පියා සඳහන් කර තිබුණේ, "බ්‍රියානා ගැන අපිට ඇත්තටම සතුටුයි වගේම ආඩම්බරයි. එය ඇයගේ මහන්සියට සහ කැපවීමට ලැබුණු ඇගයීමක් වගේ," යනුවෙනි. මෙම ගමන අභියෝගාත්මක මෙන්ම ප්‍රතිලාභ ගෙන දෙන එකක් ලෙස හැඳින්වූ ඔහු, ඇය බටහිර ඕස්ට්‍රේලියාව සහ සිය ප්‍රාදේශීය ප්‍රජාව නියෝජනය කරනු දැකීම මෙම ජයග්‍රහණය තවත් සුවිශේෂී කරන බවද පවසා ඇත.

දක්ෂතාවය හඳුනාගන්නා සහ එයට ඉදිරියට යෑමට අවස්ථාව ලබා දෙන විවෘත පරිසරයක් ඕස්ට්‍රේලියාව තුළ නිර්මාණය වී තිබීම ඇයගේ මෙම ගමනට විශාල අත්වැලක් වී තිබේ. තමන්ගේ මුල් අමතක නොකරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පවුලක දරුවෙකු ලෙස, ඇය කුමන රටක් නියෝජනය කළද ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගන්නා දිනයක එය සමස්ත ශ්‍රී ලාංකිකයින්ටද මහත් ආඩම්බරයක් වනු ඇත.

sri-lankan-student-briana-miriyagalla-named-after-australia

sri-lankan-student-briana-miriyagalla-named-after-australia



sri-lankan-student-briana-miriyagalla-named-after-australia