රාජගිරිය දෙස සිට පැලවත්ත දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුගේ ගමන අතරමගදී අවසන් වූයේ එක් අයෙකුට ජීවිතය අහිමි කරමින් සහ අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා රෝහල්ගත වීමට සලස්වමිනි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේදී පසුගියදා (24) මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බව තලංගම පොලිසිය පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුගමුව, රණතිසර උයන, පදිංචිව සිටි මෙත්මි කාවින්දී වීරසිංහ නමැති විසිහය හැවිරිදි තරුණියක බව පොලිසිය හඳුනාගෙන තිබේ. ඇය අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පසුපස අසුනේ ගමන් කරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව, තරුණියන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය රාජගිරිය දෙස සිට පැලවත්ත දෙසට ධාවනය වෙමින් තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින්, එනම් පැලවත්ත දෙස සිට රාජගිරිය දෙසට ධාවනය වූ මෝටර් රථ දෙකක ගැටී තිබේ. එම ගැටීමත් සමඟ යතුරුපැදියේ සිටි තරුණියන් දෙදෙනා මාර්ගය මැද ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනාම කඩිනමින් ප්‍රතිකාර සඳහා කොස්වත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපස ගමන් ගත් මෙත්මි කාවින්දී වීරසිංහ මියගොස් ඇති අතර, යතුරුපැදිය පැදවූ අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා සිටි බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදු වූ ස්ථානයට පැමිණි තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එහි ස්ථානීය පරීක්ෂණය සිදු කළාය. ඉන් අනතුරුව මියගිය තරුණියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන යන ලෙස ඇය පොලිසියට නියෝග කර තිබේ.
මෙම අනතුරට සම්බන්ධ මෝටර් රථ රියැදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. අනතුර සිදුවූ ආකාරය සහ ඊට අදාළ සෙසු කරුණු පිළිබඳව තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.