දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති විමර්ශන දැල තවදුරටත් පුළුල් වෙමින් පවතී. එහි නවතම පියවර ලෙස, කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරන් දෙදෙනෙකුට හෙට (18) සහ අනිද්දා (19) යන දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මේ වනවිට නිල වශයෙන් දැනුම් දී තිබේ.
අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී. අබේසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (පරිපාලන) හරහා මෙම දැනුම්දීම සිදු කර ඇත. මෙම කැඳවීම හුදු ප්‍රශ්න කිරීමකට පමණක් සීමා නොවන්නකි. කොමිසම හමුවට පැමිණෙන විට පාර්ලිමේන්තුවට අයත් NC 4923 දරන රථය භාරගැනීම, එය යොදාගත් රාජකාරි, 2025 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එහි ධාවන සාරාංශ සහ විශේෂයෙන්ම මේ වසරේ ජනවාරි 07 වැනිදා එම රථය මුහුණ දුන් රිය අනතුරට අදාළ සියලු ලේඛන ඉදිරිපත් කරන ලෙස අදාළ රියදුරන්ට නියෝග කර තිබේ.
කතානායකවරයාට එරෙහිව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ කොමිසම මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 02 වැනිදා ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගෙනය. පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ එම පැමිණිල්ලෙන් කියැවුණේ, නිල වශයෙන් වාහන දෙකක් පමණක් හිමිව තිබියදීත්, අනුමැතියකින් තොරව පිහිටුවාගත් මාධ්‍ය අංශයක් සඳහා කතානායකවරයා විසින් නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුවේ වාහනයක් ලබාගෙන ඇති බවයි.
අදාළ රථය සම්බන්ධ ගැටලුව තවත් උග්‍ර වන්නේ එහි අනතුර සහ ඒ සඳහා වැය කළ මුදල් හේතුවෙනි. ආරංචි මාර්ග පවසන පරිදි, මෙම වාහනය අනතුරට ලක්ව ඇත්තේ ද කතානායකවරයාගේ කටයුතු සඳහා යොදවා තිබියදීය. එපමණක් නොව, අනතුරට පත් රථය අලුත්වැඩියා කිරීමේදී රක්ෂණ මුදලට අමතරව පාර්ලිමේන්තුවේ මුදල් ද වැය කර ඇති බවට වාර්තා වේ. මෙම තත්ත්වය මත අල්ලස් කොමිසම විසින් පසුගියදා පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රශ්න කරනු ලැබීය.
මෙම වාහන අර්බුදය හුදු පරිපාලනමය විමර්ශනයක් ඉක්මවා ගොස් කතානායකවරයාගේ දේශපාලන පැවැත්මට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෑතකදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පදනම් වී ඇත්තේ ද මෙම අල්ලස්, දූෂණ සහ අක්‍රමිකතා චෝදනාය. චෝදනා 50කින් සමන්විත වූ එම යෝජනාවේ එක් ප්‍රධාන චෝදනාවක් ලෙස ද, නිල බලයෙන් හිමි වාහන දෙකට අමතරව තවත් වාහනයක් නීතිවිරෝධීව පරිහරණය කිරීම පැහැදිලිවම සටහන් කර තිබීම විශේෂත්වයකි. කතානායකවරයා වටා ගොඩනැගෙන මෙම අර්බුදයේ ඊළඟ තීරණාත්මක සාක්ෂි ඉදිරි දින දෙක තුළ කොමිසම හමුවේ දිගහැරෙනු ඇත.