uk-student-seeks-suspects-who-stole-bag-she-left-behind-at-hatton-hotel

මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන, හැටන් ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකගේ අතිශය වැදගත් ලියකියවිලි ඇතුළත් අත්බෑගයක් නුවරඑළිය ආපනශාලාවකදී වෙනත් කාන්තාවක් විසින් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.




මෙම ශිෂ්‍යාව සිය පවුලේ සාමාජිකයන් ද සමග දීපාවලී උත්සවය වෙනුවෙන් පසුගිය 09 වැනිදා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇත. එදින දිවා ආහාරය සඳහා නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකට ගොස් ඇති අතර, ආහාර ගැනීමෙන් පසු පිටව යන අවස්ථාවේදී ඇය සිය අත්බෑගය අසුන්ගෙන සිටි පුටුවේ ඇන්ද මත අමතක වී දමා ගොස් තිබේ.

සිය බෑගය අමතක වී ඇති බව ශිෂ්‍යාවට අවබෝධ වී ඇත්තේ නිවසට පැමිණීමෙන් අනතුරුවය. ඒ අනුව, පසුදිනම යළිත් අදාළ ආපනශාලාව වෙත ගොස් පාලන අධිකාරියෙන් මේ පිළිබඳව කරුණු විමසා ඇත. එහිදී ආපනශාලාවේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, අදාළ ආපනශාලාවට පැමිණි වෙනත් කාන්තාවක් විසින් ශිෂ්‍යාවට අමතක වූ බෑගය රැගෙන යන බවයි. එම දර්ශන ආපනශාලා කළමනාකාරීත්වය විසින් ශිෂ්‍යාව වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.




රැගෙන ගිය මෙම අත්බෑගය තුළ ශිෂ්‍යාවගේ මෙරට ජාතික හැඳුනුම්පත, බ්‍රිතාන්‍යයේ බැංකු කාඩ්පත්, වීසා කාඩ්පත, විශ්වවිද්‍යාල හැඳුනුම්පත් මෙන්ම ස්ටර්ලිං පවුම් 50 ක මුදලක් ද තිබී ඇත. මේ සම්බන්ධයෙන් අගතියට පත් ශිෂ්‍යාව විසින් නුවරඑළිය පොලිසිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසිය, සැකකාර කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කළ බවට සටහන් වූ CCTV දර්ශන කිහිපයක්ම මේ වනවිටත් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ ඔස්සේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.



මෙම කාන්තාව පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, ඒ බව වහාම දැනුම් දෙන ලෙස නුවරඑළිය පොලිසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි. ඒ සඳහා හැටන් මූලස්ථාන පොලිසියේ 071 859 1097 හෝ 052 2222 222 යන දුරකථන අංක ඇමතිය හැකිය. එසේත් නොමැති නම් අගතියට පත් ශිෂ්‍යාවගේ 077 377 6298 හෝ 077 340 7979 යන අංකවලට තොරතුරු ලබාදීමට හැකියාව පවතියි.

uk-student-seeks-suspects-who-stole-bag-she-left-behind-at-hatton-hotel