no-arrests-made-as-kassapa-and-the-other-7-are-not-speaking-about-saddharathana-on-legal-advice

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ දන්සල් භූමියක පැවැති සත්‍යග්‍රහයක් අතරතුර හටගත් ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසු, අත්අඩංගුවට ගත් බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු හත් දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසඳු වික්‍රමරත්න මහතා නියෝග කළේය.




මෙම නියෝගය ලබා දීම සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ 4 සහ 9 වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් පෞද්ගලිකවම ගොස් නිරීක්ෂණය කිරීමට ද පියවර ගත්තේය. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතරට කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිවුනමක්, කාන්තාවක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළත් වේ.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ නීති විරෝධි ලෙස උසාවි ‍නියෝග නොතකමින් සත්‍යග්‍රහ භූමියේ රැඳී සිටීමය. සත්‍යග්‍රහ බිමට කඩා වැදුණු බව කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තාට පොලුවලින් පහර දී තුවාල කිරීම සහ පොලිස් රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධ තවම චෝදනා ගොනු කර නැත. මෙම සිද්ධියට අදාළව තවත් සුවිශේෂී නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ගේ ශරීරවල විෂ මත්ද්‍රව්‍ය පවතින්නේද යන්න තහවුරු කරගැනීම සඳහා මුත්‍රා සහ රුධිර සාම්පල ලබාගෙන වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.




මීට අමතරව, ඉකුත් 11 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටින බලන්ගොඩ කස්සප හිමියන් එම අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසද අනුරාධපුර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතාට නියෝග කෙරිණි. අනුරාධපුර පොලිස් අධිකාරී I චානක අබේසිරි ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක, උපපොලිස් පරීක්ෂක එස්. නන්දසේන සහ සැරයන්වරුන් වන ඉලංගසිංහ (47818), විජේතුංග (35904) යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

කෙසේ වෙතත්, මෙම ගැටුමට මුල් වූ බව කියන අනෙක් පාර්ශ්වය සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති වීම කැපී පෙනෙන තත්ත්වයකි. කස්සප හිමියන්ගේ සත්‍යග්‍රහ භූමියට තවත් සිවිල් පුද්ගලයන් කණ්ඩායමක් සමග කඩා වැදී භික්ෂූන් වහන්සේලා සහ සිවිල් පුද්ගලයන් සමග ගැටුමක් ඇති කර ගත් බවට චෝදනා එල්ල වී ඇති රාජාංගනයේ සද්ධාරතන ඇතුළු කිසිදු පුද්ගලයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.



මේ පිළිබඳව කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ, සද්ධාරතන හෝ ඔහු සමග පැමිණි පුද්ගලයන් පිළිබඳව ප්‍රකාශ ලබා දීම බලන්ගොඩ කස්සප හිමියන්ගේ පාර්ශ්වයේ සියලු දෙනා විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.

මෙම කාරණාව නීතීඥ උපදෙස් නිසා සිදුවන්නක් බවත් යම් හෙයකින් සද්ධාරතන හිමිගේ සාක්ෂි සහිතව මෙම නඩු කටයුත්ත ඉදිරියට ගෙනගියහොත් ජීවිත අන්තරායක් ඇති කරමින් පොල්ලකින් පහරදීමේ චෝදනාවට මෙම එක් හිමි නමක් ගොදුරු වන අතර කන්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීම නිසා අත්අඩංගුවට පත් සියලු දෙනාටද චෝදනාව සම්බන්ධ දඩුවම් විදින්නට සිදුවනු ඇතැයි වාර්තාවේ.

ගැටුමෙන් හිසට තුවාල සිදු වීම හේතුවෙන් රාජාංගනයේ සද්ධාරතන ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහු එහි තවදුරටත් ප්‍රතිකාර ලබන බවට එක් වාර්තාවක දැක්විණි. එහෙත්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සද්ධාරතන ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු හිසට මැහුම් 14ක් යෙදූ බවත්, තමන් රෝහලෙන් පිටව යන බවත්ය.

කෙසේ වෙතත් තමන්ට සිදුවූ පහරදීම ගැන පොලිස් පැමිණිල්ලක් සද්ධාරතන පාර්ශ්වයෙන්ද සිදුකර නැත.

තම ජීවිතයට තවදුරටත් තර්ජන පවතින බව සමාජ මාධ්‍ය සටහනෙන් පවසන ඔහු, තමන්ට ආරක්ෂාව සපයන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි. තමන්ට සහාය දැක්වූ සැමට ස්තූතිය ද පුදකරන්නටද සමාජ මාධ්‍ය යොදාගෙන තිබේ.

මේ අතර ප්‍රසිද්ධවී තිබෙන එක් වීඩියෝවකින් දැක්වෙන්නේ රක්ෂිත බන්ධනාගාරගතව විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දීමට බලන්ගොඩ කස්සප හිමි අකමැත්තක් දක්වන බවයි. හෙදියන් පොලිසියේ සහයද ඇතිව හිමි නම ආසන්නයට ගොස් ඉල්ලීම් කළද 'බෙල්ල කඩා දානවා' යනුවෙන් තර්ජනය කරමින් අදාළ පරීක්ෂණ වලට සහය නොදක්වන තත්වයක් වාර්තාවී ඇත. මෙම කන්ඩායමේ සිටි සක් පිඹින දහම් නමැති පුද්ගලයා මින් ඉහත දිනක අත්අඩංගුවට පත්වීමෙන් පසු මත්ද්‍රව්‍ය පරීක්ෂණය සමත්වීම නිසා තවම රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.