principal-arrested-for-scolding-student-for-having-too-much-hair

කොණ්ඩය කපාගෙන පැමිණියද එහි 'බම්ප්' එක වැඩි යැයි පවසමින් 15 හැවිරිදි පාසල් සිසුවකු පන්ති කාමරය ඉදිරිපිට දණගස්වා කනට පහර දුන් බව කියන නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.




මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාත්තන්ඩිය, තබෝව ප්‍රදේශයේ පදිංචි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි. ඔහු විසින් මෙලෙස දඬුවම් කර ඇතැයි කියනු ලබන්නේ අදාළ විදුහලේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුටය.

පොලිසිය පවසන පරිදි මෙම සිද්ධියට මුල් වී ඇත්තේ සිසුවාගේ හිසකෙස් සම්බන්ධයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයා දැක්වූ විරෝධයකි. පාසලේ සිසුන් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී අදාළ සිසුවාගේ කොණ්ඩය දිග වැඩි බව පැවසූ නියෝජ්‍ය විදුහල්පතිවරයා, පසුදින පාසලට පැමිණීමට පෙර එය කපාගෙන එන ලෙස ඔහුට දැනුම් දී ඇත.




ඊට පසුදින නියෝජ්‍ය විදුහල්පතිවරයා යළිත් එම පන්ති කාමරයට ගොස් සිසුවා පරීක්ෂා කර තිබේ. එහිදී සිසුවා සිය කොණ්ඩය කපාගෙන පැමිණ තිබුණද, එහි 'බම්ප්' එක වැඩි යැයි පවසමින් නියෝජ්‍ය විදුහල්පතිවරයා ඔහුට දොස් පවරා ඇත. අනතුරුව සිසුවා පන්ති කාමරය ඉදිරිපිට දණගස්වා ඔහුගේ කනට වැරෙන් පහරවල් දෙකක් එල්ල කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්, සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඉන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අදාළ සිසුවා මාරවිල රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.



පොලිසිය විසින් සිදු කළ දැනුම් දීමකට අනුව ඊයේ (13) දහවල් මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පෙනී සිටියේය. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් සහ නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ, එම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා සාවිත්‍රී සිරිමාන්න මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.