namal-janaki-and-chamara-who-were-not-granted-bail-are-back-in-custody

අල්ලස් සහ දූෂණ චෝදනා රැසක් මුල් කරගනිමින් දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල ප්‍රබලයින් කිහිප දෙනෙකුටම තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදුවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (06) තහවුරු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයගේ නීතිමය ක්‍රියාදාමයන් අද දිනයේ විශේෂ අවධානයක් දිනාගත්තේය.




මෙහිදී වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පැමිණීමයි. ක්‍රිෂ් සමාගමට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුට ඉකුත් 03 වැනිදා ඇප හිමිව තිබුණි. එහෙත් අද දිනයේදීද ඔහු සුපුරුදු පරිදි බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ අධිකරණයට රැගෙන එනු ලැබුවේ ඔහුට එරෙහිව ඇති තවත් බරපතළ නඩුවක් හේතුවෙනි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ ගොනුකර ඇති සිද්ධිය ඊට හේතුවයි. කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඉකුත් 28 වැනිදා නියෝග කර තිබුණේ මෙම එයාර්බස් නඩුවට අදාළව මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ තබාගෙන ලබන 19 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. එම නඩුව සඳහා ඔහුට මෙතෙක් ඇප ලබාදී නොමැති බැවින්, ක්‍රිෂ් නඩුවෙන් ඇප ලැබුණද ඔහුට තවදුරටත් සිරමැදිරියේම පසුවීමට සිදුව ඇත.




අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ක්‍රිෂ් නඩුව කැඳවූ අවස්ථාවේදී, එම ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එදිනට බන්ධනාගාරයේ පසුවන්නේ නම් ඔහුවද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට එහිදී නියෝග කෙරිණි.

මේ අතර, අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු ලේකම්වරයාගේ නඩුවද අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබීය. අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා ලබන 10 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම අක්‍රමිකතාව සිදුව ඇති බවයි. පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ චෝදනාව එල්ල වී තිබේ.