a-cabinet-paper-to-return-the-privatized-sliit-sliit-to-the-government

මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් 'ස්ලිට්' (SLIIT) ආයතනයේ කළමනාකාරිත්වය යළිත් වරක් මහපොළ භාරකාර අරමුදල යටතට පවරා ගැනීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව රජය පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා ඊයේ (05) මේ බව අනාවරණය කළේ, ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක ගැටලු රැසකට පිළිතුරු සපයමිනි.




සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැඟූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය වසර දෙකක කාලය පුරා ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් සිදු කළ බවයි. ඒ අනුව, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි යොමු කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ස්ලිට් ආයතනයේ කළමනාකාරිත්වය වෙනස් වීමේ පසුබිම පැහැදිලි කළ ඇමැතිවරයා, 2015 යහපාලන ආණ්ඩු සමයේදී මේ සම්බන්ධයෙන් අත්සන් තබා ඇති 'හොර ගිවිසුම' දැඩි විවේචනයකට ලක් කළේය. එම ආණ්ඩුවේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් මහතා කටයුතු කළ බව සිහිපත් කළ ඔහු, මෙම වැරදි ගිවිසුම හේතුවෙන්ම එවකට මහපොළ භාරකාර අරමුදලේ සභාපති ලෙස කටයුතු කළ හිටපු අගවිනිසුරු ශ්‍රීපවන් මහතා සිය ධුරයෙන් පවා ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළේය. ඉන් අනතුරුව වසර දෙකක කාලයක් පුරාවට මහපොළ භාරකාර අරමුදල කිසිදු කැඳවීමක් සිදු කර නොතිබූ අතර, පසුව හිටපු අගවිනිසුරුවරයකු හෝ විගණකාධිපතිවරයකු යටතේ එය යළි කැඳවීමට පියවර ගෙන තිබිණි.




මෙම ගනුදෙනුව පිටුපස ඇති මූල්‍යමය ගැටලුව ඇමැතිවරයා පැහැදිලි කළේ සංඛ්‍යාත්මක දත්තද සහිතවය. 2005 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ස්ලිට් ආයතනය රඳවාගෙන තිබූ ලාභය රුපියල් මිලියන 1,068ක් විය. එහෙත්, අදාළ හොර ගිවිසුම ගසමින් පවරා දීම සිදු කරන අවස්ථාවේදී ඉන් මහපොළ අරමුදලට ලබා දී තිබුණේ රුපියල් මිලියන 408ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

ස්ලිට් යනු මහපොළ භාරකාර අරමුදලට හුදෙක් මුදල් සැපයීම සඳහා පමණක් නොව, උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට අත්වැලක් වීම සඳහා හැදූ අරමුදලක් බව අවධාරණය කළ ඇමැති වසන්ත සමරසිංහ මහතා, එහි මුදල් අවභාවිත කිරීම බරපතළ වරදක් බව කියා සිටියේය.



මේ සමඟම, සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳවද ඔහු අදහස් දැක්වීය. මේ ආණ්ඩුව බලයට පැමිණෙන විට එක් සිසුවකුට ලබා දුන්නේ රුපියල් 5,000ක්ව පැවති මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වුවත්, මේ වන විට එය සියයට සියයකින් ඉහළ නංවා රුපියල් 10,000ක් දක්වා වැඩි කර අඛණ්ඩව සිසුන් වෙත ලබා දීමට කටයුතු කර ඇති බව ඇමැතිවරයා පාර්ලිමේන්තුවට අවධාරණය කළේය.