missing-15-year-old-girl-found-in-cave-after-giving-birth

මාස පහකට ආසන්න කාලයක් පුරා අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරියක මවක බවට පත්ව නකල්ස් කඳුවැටියේ ඝන වනාන්තරයක් මැද පිහිටි ඉටි රෙදිවලින් ආවරණය කළ ගල් ගුහාවක් තුළ දිවි ගෙවමින් සිටියදී සොයා ගැනීමට උඩුදුම්බර පොලිසිය සමත් වී තිබේ. පොලිස් නිලධාරීන් ජනාවාසවලින් බොහෝ දුරින් පිහිටි එම දුෂ්කර කැලෑබද ප්‍රදේශයට ළඟා වන විට, ඇය අසල මාස දෙකක් පමණ වයසැති කුඩා බිළිඳියක ද සිට ඇත.

නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට අයත් මීමුරේ, කරඹකැටිය - දම්බටේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය පසුගිය ජූලි මස 13 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇගේ පවුලේ සාමාජිකයන් විසින් උඩුදුම්බර පොලිසියට පැමිණිලි කර තිබිණි. උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ විමර්ශනවල හැරවුම් ලක්ෂ්‍යය වූයේ ප්‍රදේශයේ එක්තරා වෙළෙඳසැලකින් දෛනිකව එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා අසාමාන්‍ය ලෙස වැඩි සහල් සහ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් මිලදී ගන්නා තරුණයෙකු පිළිබඳව පොලිසියේ අවධානය යොමු වීමයි.

මෙම සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් ඔහු පසුපස රහසිගතව ලුහුබැඳ ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඝන වනලැහැබක් තුළ සඟවා තිබූ මෙම ගල් ගුහාව පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ බාලවයස්කාර දැරිය කිසිදු වෛද්‍ය සහායකින් තොරව මෙම ගල් ගුහාව තුළදීම බිළිඳිය ප්‍රසූත කර ඇති බවයි. දරු ප්‍රසූතියෙන් පසු බිළිඳියගේ පෙකණි වැල කැපීම සඳහා කිතුල් කර්මාන්තයේදී භාවිත කරන තියුණු ආයුධයක් යොදාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

එපමණක් නොව, කැලෑවෙන් සොයාගත් කරඳ කොළ ඇතුළු දේශීය අත්බෙහෙත් වර්ග භාවිත කරමින් මවට සහ බිළිඳියට ප්‍රතිකාර කර ඇති අතර, කුඩා දරුවා නෑවීම සඳහා කිතුල් පැණි නිෂ්පාදනයට යොදාගන්නා විශාල තාච්චියක් භාවිත කර ඇති බවද සැකකරුවන් විසින් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙම දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද කුඩා බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

සිද්ධියට අදාළව බිළිඳියගේ පියා බව කියන දැරියගේ ගමේම අසල්වැසියෙකු වන 23 හැවිරිදි තරුණයෙකු සහ ඔහුට මෙම කටයුත්ත සඳහා සහාය ලබාදුන් බව කියන ඔහුගේ ඥාතියෙකු උඩුදුම්බර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිස් භාරයට ගත් 15 හැවිරිදි මව සහ මාස දෙකක් වයසැති සිඟිති දියණිය උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පිරිසිදු කිරීමෙන් අනතුරුව, වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත යොමු කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය විසින් තවදුරටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතී.