පැහැපත් සමක්, කඩවසම් පෙනුමක් සහ මුහුණ වසාගත් අව් කන්නාඩියක් සමඟින් ඔහු කොළඹ ප්‍රධාන පෙළේ රන් ආභරණ සාප්පු සංකීර්ණ වෙත ඇතුළු වූයේ ධනවත් විදේශීය ගැනුම්කරුවකුගේ විලාසයෙනි. භාෂා හයක් චතුර ලෙස හැසිරවීමේ හැකියාවත්, එංගලන්ත ජාතිකයකු ලෙස හැඟවෙන ස්වභාවයත් නිසා ඔහුගේ පැමිණීම කිසිවකුටත් සැකයට තුඩු නොදුන් බව පෙනෙන්නට තිබිණි.
එහෙත් එම ආකර්ෂණීය පෙනුමට මුවා වී රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සොරාගත් බව කියන 37 හැවිරිදි සැකකරුවකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය සමත්ව තිබේ.පොලිසිය සඳහන් කරන පරිදි මෙම සොරකම් මාලාව සිදුව ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේ සහ මෙම මාසයේ අවස්ථා කිහිපයකදීය. කොළඹ කොටුව, වරාය සහ කොල්ලුපිටිය යන පොලිස් වසම්වල පිහිටි, විදේශීය ජාතිකයන් බහුලව රන් ආභරණ මිලදී ගැනීමට පැමිණෙන සාප්පු සංකීර්ණ ඔහුගේ ඉලක්කය වී තිබූ බව පැවසේ. රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් එම වෙළෙඳසල්වලට ඇතුළු වන සැකකරු, තමන් එංගලන්ත ජාතිකයකු බව හඟවමින් මඳ වේලාවක් එහි රැඳී සිට ආභරණ පරීක්ෂා කරන ආකාරයෙන් මෙම සොරකම් සිදුකර ඇතැයි පොලිසිය කියයි. ඔහු සෑම සාප්පු සංකීර්ණයකටම අව් කන්නාඩියක් පැලඳ ගොස් තිබූ බව සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.
මෙම සැකකරු කොටු කර ගැනීම සඳහා කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරීන් දින කිහිපයක් පුරා කොළඹ ප්‍රදේශයේ එවැනි රන් ආභරණ සාප්පු සංකීර්ණ අසල සැරිසරමින් විමර්ශන සිදුකර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 23 වැනිදා කොළඹ කොටුව ගාලු මුවදොර පිටියේදී සැකකරු පොලිස් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,800ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම 'විදේශිකයාගේ' සැබෑ අනන්‍යතාව හෙළි වී ඇත. ඔහු කටුගස්තොට මාපනාවතුර ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහුගේ මව එංගලන්ත ජාතික කාන්තාවක බවත් පොලිසිය පවසයි. ගල්කිස්ස ප්‍රදේශයේ කුලී කාමරයක නවාතැන් ගෙන සිටිමින් ඔහු මෙම සොරකම් සියල්ල මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු සිදුකළ අනාවරණයන් මත සොරාගත් සියලුම රන් ආභරණ පිටකොටුව හෙට්ටි වීදියේ රන් ආභරණ වෙළෙඳසල්වලට අලෙවි කර තිබියදී සොයාගැනීමට පොලිසියට හැකිව ඇත. එලෙස පොලිස් භාරයට ගත් ආභරණ අතර රෝස් ගෝල්ඩ් වර්ගයේ පවුම් භාගයක් බරැති කුඩා දියමන්ති ගල් 68ක් අඩංගු මුදුවක්, පින්ක් සපායා වර්ගයේ දියමන්ති ඔබ්බවන ලද රත්තරන් මුදුවක් සහ තවත් රන් ආභරණ තොගයක් වන බව කොටුව පොලිසිය සඳහන් කරයි.
භාෂා හයක් හැසිරවීමේ හැකියාවක් සහ විදේශීය පෙනුමක් සහිත මෙම පුද්ගලයා තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූවකු බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබේ. රන් ආභරණ අලෙවි කර උපයාගත් සියලුම මුදල් මත්ද්‍රව්‍ය සඳහාම වැය කළ බව සැකකරු පොලිසිය හමුවේ අනාවරණය කර ඇත.