melbourne-medical-practitioner-pushkara-epa-banned-for-3-months-for-molesting-student

වෛද්‍ය වෘත්තිය යනු දැඩි විශ්වාසයක් සහ ගෞරවයක් මත පදනම් වූවකි. එහෙත් එම වෘත්තීය විශ්වාසය කඩ කරමින්, තමා යටතේ පුහුණුව ලැබූ වෛද්‍ය ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකුට මාස තුනක කාලයක් සඳහා වෛද්‍ය වෘත්තියේ නිරත වීම තහනම් කර තිබේ.

මේ බව ඕස්ට්‍රෙලියාවේ පළවන හෙරල්ඩ් සන් පුවත්පත වාර්තා කර තිබේ.




වයස අවුරුදු පනස් ගණන්වල අග භාගයේ පසුවන වෛද්‍ය විදාන පුෂ්කර ඈපා නමැති මෙම වෛද්‍යවරයා, බෙලරුස් රාජ්‍යයෙන් සිය වෛද්‍ය අධ්‍යාපනය ලබා 2009 වසරේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවෙකි. වික්ටෝරියානු සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාව (VCAT) විසින් අඟහරුවාදා දිනයේ මෙම දඬුවම නියම කරනු ලැබුවේ, ඔහු විසින් අදාළ ශිෂ්‍යාවට ලිංගික අතවර කර ඇති බවට තීන්දු කර මාස 19කට පසුවය.

මෙම සිදුවීම් මාලාව වාර්තා වන්නේ 2021 වසරේ ඔක්තෝබර් මාසයේදීය. නඩු විභාගයේදී 'Ms. P' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම වෛද්‍ය ශිෂ්‍යාව, සිය වෛද්‍ය පුහුණුවේ කොටසක් ලෙස ප්‍රාදේශීය වික්ටෝරියාවේ පිහිටි වෛද්‍ය ඈපාගේ සාමාන්‍ය වෛද්‍ය සායනයට අනුයුක්ත කර සිටියාය. විනිශ්චය සභාව අනාවරණය කළ පරිදි, 2021 ඔක්තෝබර් 20 වැනිදා වෛද්‍යවරයා සිය අත ශිෂ්‍යාවගේ කලවා ප්‍රදේශයේ ඇතුළත විනාඩි දෙකක පමණ කාලයක් තබාගෙන සිට ඇති අතර, තවත් අවස්ථා කිහිපයකදීම ඇයව ස්පර්ශ කර ඇත. එය හිතාමතා කළ ස්පර්ශයක් බවත්, අවශ්‍යතාවයක් මත හෝ අහඹු ලෙස සිදු වූවක් නොවන බවත් එහිදී තහවුරු විය.




ඊට පසුදින, එනම් ඔක්තෝබර් 21 වැනිදා ද ඔහු යළිත් ඇයගේ කලවා ප්‍රදේශය ස්පර්ශ කර, ඇයගේ ඉණ සහ තට්ටම් ප්‍රදේශය වටා අත දමා, ඇයගේ නිවසට තමාට පැමිණිය හැකිදැයි විමසා තිබේ.

මෙම සිදුවීම්වලට දින හතරකට පෙර, එනම් ඔක්තෝබර් 16 වැනිදා ද ශිෂ්‍යාව රෝගියෙකුට ප්‍රතිකාරයක් සිදු කරමින් සිටියදී වෛද්‍යවරයා ඇයගේ උකුල සහ කලවා ප්‍රදේශය ස්පර්ශ කර, පසුව ඇයගේ දුරකථන අංකය සහ ලිපිනය ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, ඔක්තෝබර් 16 වැනිදා සිදුවීම ලිංගික හැසිරීමක් හෝ නීති උල්ලංඝනය කිරීමක් ලෙස විනිශ්චය සභාව සැලකුවේ නැත.

නමුත් ඔක්තෝබර් 20 සහ 21 දිනවල සිදු වූ ස්පර්ශ කිරීම්, පෞද්ගලික යැයි සැලකෙන ශරීරාංග ඉලක්ක කරගත්, අහඹු සිදුවීමකට වඩා වැඩි කාලයක් පැවති ලිංගික හැසිරීම් බව විනිශ්චය සභාව තීන්දු කළේය. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු සහ ශිෂ්‍යාවක අතර පවතින බලයේ විෂමතාවයෙන් (power imbalance) වෛද්‍ය ඈපා අනිසි ප්‍රයෝජන ගෙන ඇති බවද ත්‍රිපුද්ගල මඬුල්ල විසින් එහිදී අවධාරණය කරන ලදී.

තමාට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ වෛද්‍ය ඈපා, තමා අසාධාරණ ලෙස චෝදනාවට ලක්ව ඇති බවත්, ශිෂ්‍යාවට අතවර කිරීමේ කිසිදු චේතනාවක් තමාට නොතිබූ බවත් ප්‍රකාශ කළේය. වෛද්‍යවරයාගේ නීතිඥවරයා විනිශ්චය සභාව හමුවේ තර්ක කළේ මෙම හැසිරීම ඔහුගේ සාමාන්‍ය ස්වභාවයට සම්පූර්ණයෙන්ම පටහැනි බවත්, ඊට ලිංගික චේතනාවක් නොතිබූ බවත්ය. මෙම පරීක්ෂණ සහ නඩු විභාගය හේතුවෙන් වෛද්‍යවරයා දැඩි කනස්සල්ලට සහ බලවත් අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත්, ඔහු මාස 21ක කාලයක් ස්වේච්ඡාවෙන්ම සේවයෙන් ඉවත්ව සිටි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. තමා දැඩි බෞද්ධයෙකු බවත්, ශිෂ්‍යාවට කිසිදු වේදනාවක් ගෙන දීමට තමා කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවත්, ඇයගේ දුක් වේදනා නිමා වී වෛද්‍ය වෘත්තියේ දීර්ඝ ගමනක් යාමට තමා ප්‍රාර්ථනා කරන බවත් වෛද්‍යවරයා නීතිඥවරයා හරහා ප්‍රකාශ කර තිබුණි.

එසේ වුවද, අදාළ ශිෂ්‍යාව ඉතා "විශ්වසනීය සාක්ෂිකාරියක" ලෙස විනිශ්චය මඬුල්ල විසින් පිළිගනු ලැබුවාය.

ඇය වෛද්‍යවරයාට එරෙහිව ලිංගික හෝ ද්වේශ සහගත චේතනාවක් ආරෝපණය කිරීමට අකමැත්තක් දැක්වූ බව විනිශ්චය සභාවේ නිරීක්ෂණය විය. ඇය සිය මිතුරියකට පවසා තිබුණේ වෛද්‍යවරයා අමාරුවේ වැටෙනවාට තමා අකමැති බවයි. ඒ පිළිබඳව හරස් ප්‍රශ්න නැගීමේදී ඇය පැවසුවේ, වෛද්‍ය වෘත්තිය තුළ මෙවැනි කරුණක් හෙළිදරව් කරන්නියක (whistleblower) වීම හේතුවෙන් තමාට වෘත්තීයමය වශයෙන් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇය තුළ දැඩි බියක් පැවති බවයි. ඔක්තෝබර් 21 වැනිදායින් පසු ඇය නැවත එම සායනයට නොගිය අතර, සිය වෛද්‍ය පුහුණුව වෙනත් ස්ථානයකින් සම්පූර්ණ කළාය.

දඬුවම් නියම කිරීමේ විභාගයේදී, ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් නියාමනය කරන ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලය (Medical Board of Australia) සහ වෛද්‍ය ඈපාගේ නියෝජිතයින් එක්ව දැඩි අවවාදයක් සහ මාස තුනක සේවය අත්හිටුවීමක් ලබා දෙන ලෙස ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් වෛද්‍යවරයාගේ නීතිඥවරයා තර්ක කළේ ඊට දඩයක් නියම කිරීම පමණක් ප්‍රමාණවත් බවයි.

දඩයක් නියම කිරීමේ ඉල්ලීම විනිශ්චය සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මාස තුනක සේවා අත්හිටුවීමකට වඩා අඩු කිසිදු දඬුවමක් ප්‍රමාණවත් නොවන බව ඔවුහු තීන්දු කළහ. පරිපාලනමය ප්‍රමාදයක් හේතුවෙන් මෙම නඩුව වසර පහක පමණ කාලයක් ඇදී ගිය බවත්, එම කාලය තුළ වෛද්‍යවරයා මෙම නඩු කටයුත්තෙහි පීඩනය සමග ජීවත් වූ බවත් තීන්දු ප්‍රකාශයේදී සලකා බැලුණි. එහෙත්, ලිංගික අතවර කිරීම් සහ බලයේ විෂමතාවයෙන් අනිසි ප්‍රයෝජන ගැනීම් කිසිසේත්ම ඉවසා නොසිටින බවට සෙසු වෛද්‍යවරුන්ට පැහැදිලි අනතුරු ඇඟවීමක් කිරීම මෙම දඬුවමේ අරමුණ බව විනිශ්චය සභාව අවධාරණය කළේය. නඩුවේ පිරිවැය පිළිබඳව පසුව තීරණය කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් විසින් ඔවුන් යටතේ පුහුණුව ලබන වෛද්‍ය සිසුන්ට සහ කනිෂ්ඨ වෛද්‍යවරුන්ට කරන අතවර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විනය ආයතන මෑත වසරවලදී අවස්ථා කිහිපයකදීම කටයුතු කර තිබේ. 2020 වසරේදී ජාත්‍යන්තර වෛද්‍ය ශිෂ්‍යාවකට සිය සායනය තුළදී සිප ගනිමින් සහ ස්පර්ශ කරමින් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2025 මැයි මාසයේදී ටැස්මේනියානු විනිශ්චය සභාවක් විසින් වෛද්‍ය සිරිල් ලැට් නමැත්තාගේ සේවය මාසයකට අත්හිටුවා, වසරක කාලයක් සඳහා වෛද්‍ය සිසුන් අධීක්ෂණය කිරීම ද තහනම් කරන ලදී.

එසේම, රෝයල් ඔස්ට්‍රලේෂියන් වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපතිවරයෙකු වූ වෛද්‍ය ලෙස්ලි බොලිතෝ විසින් කනිෂ්ඨ වෛද්‍යවරුන් ස්පර්ශ කළ බවට වික්ටෝරියානු විනිශ්චය සභාව නිශ්චය කිරීමෙන් පසු, ඔක්තෝබර් මාසයේදී ඔහුගේ ලියාපදිංචිය අවලංගු කර මාස 12කට නැවත අයදුම් කිරීම තහනම් කෙරිණි.

(හෙරල්ඩ් සන් වාර්තාව ඇසුරිනි)

gossiplanka image 1