measles-outbreak-in-3-prisons-alters-court-proceedings

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයකම සිරමැදිරි ඊයේ (09) දක්නට ලැබුණේ වෙනදාට වඩා හිස් සහ පාළු ස්වභාවයකිනි. ඊට හේතු වූයේ වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාර තුළින් මතු වූ හදිසි සෞඛ්‍ය අවදානමකි.

එම බන්ධනාගාර තුළ සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවීමත් සමග, රැඳවියන් විවෘත අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.




බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා ප්‍රකාශ කරන පරිදි, මෙම බන්ධනාගාර ත්‍රිත්වයේම රැඳවියන් පිරිසක් රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔවුන්ගෙන් සිව්දෙනෙකුට සරම්ප රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ. රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින්, රැඳවියන් කිසිවකුත් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර පාලනාධිකාරිය විසින් අදාළ අධිකරණ වෙත ලිඛිතව දැනුම් දී ඇත.

බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත නිකුත් කළ ලිපියක් මගින් ද බන්ධනාගාර නිලධාරීන් මේ බව නිල වශයෙන් දන්වා සිටියේය. කොළඹට අමතරව ගල්කිස්ස, මොරටුව සහ හොරණ ඇතුළු අධිකරණ කිහිපයකටම මෙම බන්ධනාගාරවලින් රැඳවියන් රැගෙන යාම සිදුවන අතර, ඒ සියලුම අධිකරණ වෙත පවතින තත්ත්වය දැනුම් දීමට පියවර ගෙන තිබේ.




රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ වනවිටත් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඊයේ දිනය වන විට බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන් 900කට පමණ සරම්ප ප්‍රතිජීවක එන්නත් ලබා දී ඇති අතර, තවත් පිරිසකට එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙන බව පල්ලේතැන්න මහතා සඳහන් කළේය.

මේ අතරතුර, රැඳවියන් භෞතිකව අධිකරණ වෙත රැගෙන නොගිය ද, ඔවුන්ට බන්ධනාගාරයේ සිට 'සූම්' (zoom) තාක්ෂණය ඔස්සේ සිය නඩු කටයුතු සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි.



කෙසේ වෙතත්, මෙම සරම්ප අවදානම අධිකරණ කටයුතුවලට ද යම් බලපෑමක් එල්ල කර තිබේ. රිමාන්ඩ් බන්ධනාගාරය තුළ රෝගය පවතින බැවින්, ඇතැම් නඩු කැඳවූ අවස්ථාවලදී නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙසයි. පවතින තත්ත්වය සමනය කරමින්, හෙට (11) සිට යළිත් රැඳවියන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කළේය.