have-the-butterflies-that-fly-in-the-sky-arrived-in-colombo

අවුරුද්දේ එක කාලයකදී සමණලයින් එකදිශාවකට රංචු පිටින් පියාසර කරමින් සිටීම ගැන කඩා කාලයේ සිට බොහෝ අයට කුතුහලයක් ඇතිව තිබුණි. වැඩිහිටියන් පවසන්නේ ශ්‍රීපාද සමයේ කහ පැහැති සමණල් රංචු සිරීපාදෙට ගමන් කරන බවයි.

මේ දිනවල කොළඹ අහස දෙස බැලුවහොත් ඔබට එක් අපූරු දසුනක් දැකගත හැකි වනු ඇත. ඒ, කුරුඳුවත්ත, බොරැල්ල, නුගේගොඩ, බොරලැස්ගමුව, වැල්ලවත්ත සහ කිරුළපන පමණක් නොව ගම්පහ, රත්නපුර හා ගාල්ල වැනි දිස්ත්‍රික්ක රැසකත් අහස් තලය සරසන කහ සහ සුදු පැහැති කුඩා සමනලුන්ගේ පියාසැරියයි. උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ විටෙක පහළොවක් හෝ විස්සක් ලෙසත්, තවත් විටෙක සියයකට වැඩි රංචු ලෙසත් එකම දිශාවකට ඇදී යන මේ අපූරු ගමන මේ වන විට සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.




ඇතැමුන් කුතුහලයෙන් යුතුව මේ දෙස බලද්දී, තවත් පිරිසක් විමසන්නේ මෙය ඉදිරියේදී පැමිණීමට නියමිත සුළි කුණාටුවක, භූමිකම්පාවක හෝ ස්වාභාවික ආපදාවක පෙරනිමිත්තක්ද යන්නයි. ඊටත් වඩා පැරණි ජනප්‍රවාදයකට අනුව බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ රංචු පිටින් පියඹන සමනලුන් 'සමනල කන්ද' හෙවත් ශ්‍රීපාදය වෙත ගමන් කරන බවයි. එහෙත්, මෙම දර්ශනීය පියාසැරිය පිටුපස සැඟවී ඇත්තේ ආපදාවක පෙරනිමිත්තක්වත්, ගුප්ත සිදුවීමක්වත් නොව, සොබාදහමේ සාමාන්‍ය පාරිසරික චක්‍රයක් හා බැඳුණු 'සමනල පර්යටනය' නමැති අතිශය සුන්දර සංසිද්ධියයි.

සමනල විශේෂඥ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පෙන්වා දෙන පරිදි, මෑතකදී ඇදහැළුණු මහ වැසි සමඟ පරිසරයේ නව දලු සහ පත්‍ර බහුල වෙමින් ශාක වර්ධනය වේගවත් වීම මෙම සංක්‍රමණයට බලපාන ප්‍රධානතම සාධකයකි. සමනලුන්ට බිත්තර දැමීමටත්, ඉන් බිහිවන දළඹුවන්ට ආහාරයට ගැනීමටත් 'ධාරක ශාක' අත්‍යවශ්‍ය වේ. වර්ෂාවත් සමඟ ධාරක ශාකවල සිදු වූ මෙම වර්ධනය හේතුවෙන් සමනල ගහනය විශාල වශයෙන් ඉහළ ගියේය.




ගහනය එක්වරම වර්ධනය වීමත් සමඟ, එක් ප්‍රදේශයක පවතින ධාරක ශාක සහ ආහාර සම්පත් එම විශාල සමනල ගහනයට ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගත වේ. සම්පත් සඳහා වන තරගකාරීත්වය අවම කරගනිමින්, නව වාසස්ථාන, ආහාර සහ බිත්තර දැමීමට සුදුසු ශාක සොයාගෙන ඔවුන් මෙලෙස රංචු වශයෙන් වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම අරඹයි. එය හුදෙක් අහඹු සිදුවීමක් නොව, ආහාර, ප්‍රජනනය සහ පාරිසරික තත්ත්වයන් සමඟ බැඳුණු ස්වාභාවික ගමන් රටාවකි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන සමනල සංක්‍රමණ සමය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා පවතින දෙවැනි අන්තර් මෝසම් කාලය ආශ්‍රිතවය. ඊට අමතරව මාර්තු සහ අප්‍රේල් මාසවලදී එනම් පළමු අන්තර් මෝසම් කාලය ආශ්‍රිතව ද කුඩා පරිමාණයේ සංක්‍රමණයක් දැකගත හැකිය. පසුගිය වසර කිහිපය පුරාවටම මෙවැනි විශාල සමනල රංචු දක්නට නොලැබුණු අතර, දීර්ඝ කාලයකට පසුව මෙතරම් කැපී පෙනෙන අන්දමින් සමනල සංක්‍රමණයක් නිරීක්ෂණය වීම විශේෂත්වයක් බව ප්‍රියදර්ශනී මහත්මිය අවධාරණය කරයි. මෙවර සංක්‍රමණයේදී ඔවුන් වැඩි වශයෙන් වියළි කලාපය කරා ඇදී යෑම කැපී පෙනෙන ලක්ෂණයකි. ඊට හේතුවී ඇත්තේ ද වර්ෂාවත් සමඟ එම ප්‍රදේශවල ධාරක ශාක වර්ධනය වී ආහාර සම්පත් බහුල වී තිබීමයි.



අහස පුරා පියඹන මේ රංචු අතර ප්‍රධාන වශයෙන්ම හඳුනාගෙන ඇත්තේ ලෙමන් ඉමිග්‍රන්ට් (Lemon Emigrant), මොට්ල්ඩ් ඉමිග්‍රන්ට් (Mottled Emigrant), ලෙසර් ඇල්බට්‍රොස් (Lesser Albatross) සහ කොමන් ඇල්බට්‍රොස් (Common Albatross) යන සුදු සහ කහ පැහැති සමනල විශේෂයන්ය. මීට අමතරව, සාමාන්‍යයෙන් ඉහළ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව දැකගත හැකි 'පේන්ටඩ් ලේඩි' (Painted Lady) සමනලුන් ද සුළු සංඛ්‍යාවලින් ඇතැම් ප්‍රදේශවලින් නිරීක්ෂණය වී තිබේ.

විද්‍යාත්මක ක්ෂේත්‍ර නිරීක්ෂණවලට අනුව මෙම සමනලුන් සියලුදෙනා එකම ගමනාන්තයක් කරා හෝ ශ්‍රීපාදය දෙසටම ගමන් කරන්නේ නැත. උස් කඳු මුදුන් වෙත සමනලුන් ඇදී යෑම විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘Hill-topping’ සංකල්පය ලෙසිනි. එය සහකරුවන් සොයාගැනීමේ හැසිරීමක් මිස, සෑමවිටම ඔවුන්ගේ පර්යටනයේ අවසන් ගමනාන්තය කඳු මුදුනක් යන්න ඉන් අදහස් නොවේ. එමෙන්ම, සමනලුන් උෂ්ණත්වය, සුළං සහ ආර්ද්‍රතාව වැනි වායුගෝලීය තත්ත්වයන්ට සංවේදී ජීවීන් වුවද, ඔවුන්ගේ මෙම ගමන් රටාව සහ ස්වාභාවික ආපදා අතර ඍජු සම්බන්ධතාවක් ඇති බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් තහවුරු වී නොමැත.

අද දවසේ අපේ නෙත් පිනවන මේ සුන්දර දර්ශනය අනාගතයේදී අහිමි වී යාමේ අවදානමක් ද පවතී. දේශගුණික විපර්යාස, අක්‍රමවත් වර්ෂාපතන රටා, ස්වාභාවික වාසස්ථාන විනාශ වීම සහ ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය සමනලුන්ගේ ජීවන චක්‍රයට දැඩි බලපෑම් එල්ල කරයි. විශේෂයෙන්ම ඔවුන්ගේ දළඹුවන්ට අවශ්‍ය ධාරක ශාක විනාශ වීම ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට ඍජුවම පහර දෙයි.

අහස් තලය ආක්‍රමණය කළ මේ කහ සහ සුදු පියාපත් අපට කියාදෙන්නේ ආපදාවක පෙරනිමිත්තක් නොවේ. එය වැසි, ශාක, ආහාර සහ ජීවීන්ගේ පැවැත්ම අතර පවතින අතිශය සංකීර්ණ සම්බන්ධතාව අපට සිහිපත් කර දෙන සොබාදහමේ ජීව චක්‍රය පිළිබඳ අපූරු පාඩමකි.

have-the-butterflies-that-fly-in-the-sky-arrived-in-colombo

gossiplanka image