mano-arrested-for-drunk-driving-accident-on-deepavali-night

පසුගිය නොවැම්බර් 08 වැනිදාට යෙදී තිබුණු දීපාවලී උත්සව දින රාත්‍රිය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට නිමාවට පත් වූයේ අනපේක්ෂිත රිය අනතුරක් සහ පොලිස් අත්අඩංගුවට පත්වීමක් සමගිනි.




එදින රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේදී මන්ත්‍රීවරයා විසින් පදවාගෙන ගිය ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථය තවත් ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. බීමතින් රිය පදවා රිය අනතුරක් කිරීමේ චෝදනාව මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාශය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

ගැටුම හේතුවෙන් අදාළ ජීප් රථ දෙකටම අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලීසිය විසින් ප්‍රකාශ කර තිබේ.




අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා පසුව පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත. එසේ ඇප මත මුදා හැරියද, සිදුවීමට අදාළව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ රථවාහන අධිකරණය හමුවේ නඩු පවරන බව පොලීසිය වැඩිදුරටත් තහවුරු කර තිබේ.