judge-asks-how-saddharathana-missed

රුවන්වැලි මහා සෑ පරිශ්‍රය අසල දන්සැල් කලාපයේ පිහිටි සත්‍යග්‍රහ භූමියේ මෑතකදී හටගත් ගැටුමට ප්‍රධාන වශයෙන් මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු පැහැදිලි කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් පොලිසියට දැඩි නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, එළඹෙන 26 වැනි දින විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාට ඊයේ (17) දිනයේදී දැනුම් දී ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ ගැටුම අතරතුර රාජාංගනයේ සද්ධාරතන නැමැත්තාට පහරදීම සහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඇප ඉල්ලා ගොනු කළ මෝසමක් විභාගයට ගත් අවස්ථාවේදීය. නීතිඥ ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් විසින් මෙම මෝසම අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, මෙම කලහකාරී තත්ත්වය සැලසුම් සහගතව නිර්මාණය කළ බවට චෝදනා ලබන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු විසිපස් දෙනෙකුට අධික පිරිසක් වහාම අත්අඩංගුවට ගත යුතුව තිබුණද, අනුරාධපුර පොලිසිය හිතාමතාම එම සැකකරුවන් නිදැල්ලේ හැරීමට කටයුතු කර ඇති බවයි. ගැටුම වළක්වා ගැනීමට පොලිසියට ප්‍රමාණවත් හැකියාවක් තිබියදීත් මැර කණ්ඩායම්වලට අතට නීතිය ගෙන ක්‍රියා කිරීමට පහසුවෙන්ම ඉඩ සලසා දී ඇති බව ද නීතිඥවරුන් අධිකරණය හමුවේ අවධාරණය කළහ. තවද, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී අදාළ මැර කණ්ඩායම් මෙහෙයවීම පිටුපස අනුරාධපුර පොලිසියේ නිලධාරීන් සිටියේදැයි බරපතළ සැකයක් මතුවන බවද ඔවුන්ගේ කරුණු දැක්වීමේ වැඩිදුරටත් අන්තර්ගත විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සැකකරුවන් සඳහා ඉල්ලා සිටි ඇප අයදුම ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, ඉකුත් 11 වැනිදා ලබා දුන් නියෝගයකට යටත්ව කහටගස්දිගිලියේ විජිත, බලන්ගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා සිව්නම මෙන්ම තවත් සිවිල් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක එළඹෙන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවනු ඇත.