a-wave-of-robberies-and-murders-targeting-elderly-people-living-alone

දරුවන් රැකියාවන් සඳහා පිටව යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වලට පදිංචියට යාම හේතුවෙන් අද වනවිට බොහෝ නිවාසවල හුදෙකලාව ජීවත්වන්නේ වයෝවෘද්ධ දෙමාපියන්ය. ජීවිතයේ සැඳෑ සමය ගතකරන මෙම වැඩිහිටියන්, මේ වනවිට අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙමින් පවතින බවට ශ්‍රී ලංකා පොලිසිය බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකරයි.




මෑත කාලීනව මෙවැනි නිවාස ඉලක්ක කරගනිමින් සිදුවන මුදල් හා රන් ආභරණ කොල්ලකෑම්වල කැපීපෙනෙන වර්ධනයක් නිරීක්ෂණය වී තිබේ. වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ, සිය අපරාධ අරමුණු ඉටුකර ගැනීමේදී මෙම අපරාධකරුවන් අසරණ වැඩිහිටියන් ඝාතනය කිරීමට පවා පෙළඹී ඇති බව පොලිස් නිරීක්ෂණවලට ලක්ව තිබීමයි.

මෙම අවදානමෙන් තම ආදරණීයයන් ආරක්ෂා කරගැනීම සඳහා පවුලේ සාමාජිකයන් වහාම ක්‍රියාත්මක විය යුතු බව පොලිසිය අවධාරණය කරයි. විශේෂයෙන්ම, වැඩිහිටියන්ගේ රැකවරණයට මුදල් ගෙවා ලබාගන්නා උපස්ථායකයන්, ගෘහ සේවකයන් හෝ රැකවරණ මධ්‍යස්ථානවල සේවකයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳව නිසි ලෙස සොයාබැලීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම අනිවාර්ය ආරක්ෂිත පියවරක් ලෙස පෙන්වා දී තිබේ.




හදිසි තත්ත්වයකදී කලබලයට පත්වන වැඩිහිටියන්ට ක්ෂණිකව පිහිට ලබාගැනීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් නිවස තුළ තිබිය යුතුය. ළඟම ඇති පොලිස් ස්ථානය, 119 හදිසි ඇමතුම් අංකය, 1990 සුවසැරිය ගිලන්රථ සේවය, සමීප අසල්වැසියෙකු සහ පවුලේ වෛද්‍යවරයාගේ අංක නිවස තුළ පහසුවෙන් පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කිරීම ඊට ප්‍රධානතම විසඳුමකි. ඊට අමතරව, පවුලේ සාමාජිකයන්ගේ සහ පොලිසියේ දුරකථන අංක ඇතුළත් කළ, ඉතා පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථනයක් ඔවුන් වෙත ලබාදීමටද පවුල්වලට උපදෙස් දී ඇත.

නිවස තුළ මෙන්ම ඉන් පිටත ආරක්ෂාව තහවුරු කිරීමද මෙහිදී තීරණාත්මකය. රාත්‍රී කාලයේදී නිවස අවට ප්‍රමාණවත් ආලෝකයක් පවත්වා ගැනීම, විවිධ සේවා සඳහා පැමිණෙන නාඳුනන පුද්ගලයන් නිවසට ඇතුළු කර ගැනීමෙන් වැළකී සිටීම සහ අසල්වැසියන් සමග යහපත් සබඳතා පවත්වා ගැනීම ඊට අයත් වේ. තවද, තම ප්‍රදේශයේ තනිව ජීවත්වන වැඩිහිටියන් පිළිබඳව අදාළ ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කර තැබීමෙන්, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සමීපව සොයා බැලීමට හැකිවන බව පොලිසිය පවසයි.



හුදෙකලාව වෙසෙන තම වැඩිහිටි දෙමාපියන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම පවුලේ සාමාජිකයන්ගේ ප්‍රමුඛ වගකීමකි. අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වීමට පෙර, නිරන්තරයෙන් ඔවුන්ගේ සුවදුක් විමසමින් අපරාධ තර්ජනයන් කල්තියා හඳුනාගෙන අවශ්‍ය කාලෝචිත පියවර ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.