johnston-sentenced-to-five-years-suspended-prison-sentence-and-fine

නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය අවසානයේදී හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණය හමුවේ වරද පිළිගැනීමටත්, අත්හිටවූ සිරදඬුවමකට හා දඩ මුදලකට යටත් වීමටත් සිදුව තිබේ. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 25) ඔහුට එරෙහිව මෙම දඬුවම් නියම කළ අතර, නීති විරෝධීව එකලස් කර සන්තකයේ තබාගෙන සිටි අදාළ සුඛෝපභෝගී වාහනය රාජසන්තක කිරීමටද නියෝග කළේය.




මෝටර් රථවාහන පනත යටතේ හිටපු ඇමතිවරයාට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබුණි. එම චෝදනා සියල්ලටම ඔහු වරද පිළිගැනීමත් සමඟ අධිකරණය ඔහු සියලු චෝදනාවලට වරදකරු බවට තීන්දු කළේය. ඒ අනුව සමස්තයක් ලෙස අත්හිටවූ සිරදඬුවමට අමතරව රුපියල් එක් ලක්ෂ තිස්දහසක මුළු දඩ මුදලක් ගෙවීමට ඔහුට නියම විය.

අධිකරණය විසින් එක් එක් චෝදනාව සඳහා වෙන වෙනම දඬුවම් ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී පළමු චෝදනාව වෙනුවෙන් රුපියල් පන්දහසක දඩ මුදලක් නියම කළ අතර, එම දඩය ගෙවීම පැහැර හරින්නේ නම් මාසයක ලිහිල් සිරදඬුවමක් විඳීමට නියෝග කෙරිණි.




මෙම නඩුවේ වඩාත් බරපතළම දඬුවම නියම වූයේ දෙවන චෝදනාව සඳහාය. ඊට අදාළව හිටපු ඇමතිවරයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සහ මාසයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අධිකරණය, එම සිරදඬුවම වසර පහක කාලයකට අත්හිටුවීමට තීරණය කළේය. එමෙන්ම අදාළ රුපියල් ලක්ෂයක දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

තුන්වන චෝදනාව සඳහා රුපියල් විසිපන්දහසක දඩ මුදලක් නියම කර ඇති අතර, එය ගෙවීම පැහැර හරින්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් ක්‍රියාත්මක වන බව අධිකරණ නියෝගයේ සඳහන් වේ.



මේ අනුව, සුඛෝපභෝගී වාහනය රජය සතු වීමත් සමඟම මෝටර් රථවාහන පනත යටතේ ගොනු වූ චෝදනා තුනට අදාළ නීතිමය ක්‍රියාවලිය දඩ මුදල් සහ වසර පහකට අත්හිටවූ සිරදඬුවමකින් මෙලෙස අවසන් වී තිබේ.