another-warrant-issued-by-the-court-against-venerable-saddharathana-thero-of-rajanganaya

අනුරාධපුර පූජා භූමියේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (25) වරෙන්තු නිකුත් කෙරිණි.




ඒ, ආගමික සහජීවනයට හානි වන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ බව කියන සිද්ධියකට අදාළ නඩු විභාගයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. ඒ අනුව, සැකකාර හිමියන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම වරෙන්තුව නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ අතර, එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. වරෙන්තු නිකුත් කිරීමට අමතරව, සැකකරුගේ ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය එහිදී නියෝග කළේය.




ආගමික සහජීවනය බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ මෙම චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමියන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහිදී උන්වහන්සේ ඇප මත මුදාහැර තිබූ පසුබිමක, අනුරාධපුරයේ සිදුවීමට අදාළව යළි අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර මෙලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වීම විශේෂත්වයකි.

මෙම නඩු කටයුත්තට අදාළ රස පරීක්ෂක වාර්තා කැඳවීම සඳහා නඩුව එළඹෙන පෙබරවාරි මස 24 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා විසින් දින නියම කරනු ලැබීය.