iraj-is-frantic-in-the-middle-of-heavy-rain-video

ඊයේ කොළඹ නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග නගරයේ ස්ථාන කිහිපයක්ම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය. රාත්‍රී කාලයේ ඇදහැලුණු මෙම මහ වැස්ස මැද, ජලයෙන් යටවූ ප්‍රධාන මාර්ගයක් ඔස්සේ 'මෙට්‍රෝ' බස් රථයක් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට ප්‍රකට යූටියුබ් ශිල්පී ඉරාජ් වීරරත්න කටයුතු කර තිබුණි.




එම වීඩියෝවට අනුව, ඔහු ජලයෙන් යටවූ කොළඹ මහමගට බැස සිටිනු දැකගත හැකිය. "වාව්, වතුර යටින් යන මෙට්‍රෝ බස්" යනුවෙන් සටහනක් ද සමගින් පළවූ එහි, ඉරාජ් වීරරත්න කොළඹ නගර සභාවට දැඩිව දෝෂාරෝපණය කරයි.

"කොළඹම යට වෙලා මුන්ට කාණුවක් සුද්ද කරගන්න බෑ," ඔහු පවසයි. නගර සභාවෙන් කාණු පිරිසිදු නොකරන බැවින් තමන්ගේ තරුණයන් වතුරට බැස ඒවා සුද්ද කරන බව පවසන ඔහු, එහිදී "සාපයක් උන්නා" සහ "ආයි මුකුත් කරන්නේ නැද්ද? රායි" යනුවෙන් ද ප්‍රශ්න කර තිබේ.




කෙසේ වෙතත්, ඔහු සිදුකළ මෙම වීඩියෝවට සමාජ මාධ්‍ය ඔස්සේ හිමිවූයේ දැඩි ජනතා ප්‍රතිචාරයකි. වීඩියෝවට පළවූ අතිමහත් බහුතරයක් අදහස්වලින් කියවුණේ, දේශපාලනික වාසි තකා හෝ ආණ්ඩුවක් පෙරළීමේ අරමුණින් මෙවැනි ස්වභාවික ආපදාවකදී සතුටු වීම අනුමත කළ නොහැකි බවයි.

බොහෝ පිරිසක් ඔහුට චෝදනා කළේ වර්ෂාවෙන් ජනතාව පීඩා විඳිද්දී ඔහු එයින් විනෝදයක් ලබන බවයි. ඇතැම් ප්‍රතිචාර මගින් පෙන්වා දී තිබුණේ මිලිමීටර් 129ක පමණ අතිශය දැඩි වර්ෂාපතනයක් පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ පතිත වීම මෙවැනි ක්ෂණික ගංවතුර තත්ත්වයකට හේතු වන බවත්, එය වසර 72කින් පමණ පසු අත්දුටු තත්ත්වයක් බවත්ය. එසේම, ජනතාව කාණුවලට කුණු දැමීම ද මීට එක් ප්‍රධාන හේතුවක් බව ඇතැම්හු පෙන්වා දුන්හ.



දේශපාලනික වශයෙන් ද මෙහිදී දැඩි සමාජ මාධ්‍ය සංවාදයක් නිර්මාණය වී තිබුණි. ඉරාජ්ගේ ක්‍රියාව වත්මන් පාලනය ඉලක්ක කරගෙන සිදුකළ එකක් බවට චෝදනා කළ පරිශීලකයින්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ද කොළඹ මේ ආකාරයෙන්ම ජලයෙන් යටවූ බව ඔහුට මතක් කර දී තිබුණි.

මේ අතර තවත් පිරිසක් ඉරාජ්ගේ මානසික තත්ත්වය පිළිබඳව ද උපහාසාත්මකව ප්‍රශ්න කර තිබිණි. ඔහුට වස් කවිය වැදී ඇති බවත්, සිහි විකල් වී ඇති බවත් දැක්වෙන ප්‍රතිචාර එහි බහුල විය. කුණු ජලයේ බැස සිටීම නිසා මී උණ වැළඳිය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසටත්, වෛද්‍යවරයෙකු හමුවන ලෙසටත් ඇතැමුන් උපහාසයෙන් යුතුව අනතුරු අඟවා තිබුණි.

බලධාරීන් විවේචනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ ද, අවසානයේ එයින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි විවේචනයට ලක්වීමට ඉරාජ් වීරරත්නට සිදුවිය. අතීතයේ ජාත්‍යන්තර තලයේ නිර්මාණ බිහිකළ දක්ෂ සංගීතඥයෙකු දේශපාලනය හේතුවෙන් මෙවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳව තමන් කණගාටු වන බව ද ඔහුගේ පැරණි රසිකයෝ කිහිප දෙනෙක් එහි සටහන් කර තිබුණි.

gossiplanka image