mayor-calls-emergency-meeting-expressing-regret-over-colombos-sinking

ඊයේ (06) පස්වරුවේ පැය කිහිපයක් ඇතුළත කොළඹ නගරයට ඇදහැළුණු මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයත් සමඟ අගනුවර යටිතල පහසුකම්වල සැබෑ තත්ත්වය යළිත් වරක් මනාව නිරූපණය විය. නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වූ අතර, වඩාත් බරපතල තත්ත්වයක් වාර්තා වූයේ කොළඹ ජාතික රෝහලෙනි.




අධික වර්ෂාව හේතුවෙන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය, ශල්‍යාගාර මෙන්ම රෝගී වාට්ටු රැසක් ද ජලයෙන් යට විය. ජල ගැලීම් හේතුවෙන් හදිසි අනතුරු අංශයේ විදුලි සෝපාන කිහිපයක් ද අක්‍රීය වූ බව වාර්තා වූ අතර, රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. වාර්තා වන ආකාරයට මෙම තත්ත්වය මතු වී ඇත්තේ, කොළඹ නගර සභාව විසින් නොරිස් ඇළ නිසි පරිදි පිරිසිදු කර නඩත්තු නොකිරීම හේතුවෙනි. ඊට අමතරව නොරිස් ඇළ දෙපස ඇති අනවසර ඉදිකිරීම් සහ වෙළඳසැල්වලින් අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම ද මීට බලපා තිබේ.

අධික වර්ෂාවත් සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර, සවස් කාලයේ ගමන් බිමන්වල නිරත වූ ජනතාවට දීර්ඝ වේලාවක් මහමඟ පමාවීමට සිදුවිය. මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක දුම්රිය සංඥා පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බවත්, සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය යළි අරඹා ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.




කොළඹ නගරය මෙලෙස වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා අද (07) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ හටගත් ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ සියලු රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම හදිසි හමුව කැඳවූ බවයි. කොළඹ නගරයේ කාණු පද්ධතිය සකස් කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි වුවද, ඊයේ දිනයේදී ඊට පස් ගුණයකට ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙම අසාමාන්‍ය තත්ත්වය නිර්මාණය වූ බව ඇය පෙන්වා දුන්නාය.

ප්‍රදේශවාසීන්ට සිදුවූ දැඩි අපහසුතාව පිළිබඳව කණගාටුව පළකළ නගරාධිපතිනිය, ගැටලුවට ක්ෂණික විසඳුම් සෙවීම සඳහා කොළඹ මහා නගර සභාව සෙසු රාජ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කරන බව අවධාරණය කළාය. මෙම සාකච්ඡාව සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආණ්ඩුකාර කාර්යාලය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර, නගරයේ ජලපවහන පද්ධති, ඇළ මාර්ග පද්ධතිය සහ මාර්ග යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් සෙවීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.



බලධාරීන් මෙලෙස කඩිනම් විසඳුම් සොයමින් සිටියදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (07) දිනය සඳහා ද නවතම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට දැනුම් දී ඇත. තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වේගයකින් හමනු ඇත. සාමාන්‍ය තත්ත්වයේදී මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වුවද, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.


මේ සමග දැක්වෙන වීඩියෝ 2 කින් එකක පාරවල් යටවූ අයුරු හා අනෙකින් කොළඹ ජාතික රෝහලේ බිම් මහළ හා පීපල්ස් පාර්ක් වෙළෙද සංකීර්ණය ජලයට යටවූ අයුරු දැක්වේ.
gossiplanka image


gossiplanka image