"ඔබ සැමට දැන් බඩගිනි ඇති. නමුත් මට බඩගිනි නැහැ.
මොකද මම දිවා ආහාරය ගන්නේ නැහැ." කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අපූරු උපදෙසක් ද ලබා දෙමිනි. ඒ, රාජ්‍ය නිලධාරීන් සිය වර්තමාන සහල් සහ පිෂ්ඨය අඩංගු ආහාර පරිභෝජනය තුනෙන් දෙකකින් අඩු කරගත යුතු බවයි.ඊයේ (11) අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. සහල් පරිභෝජනය අඩු කර ඒ වෙනුවට පාන් හෝ තිරිඟු පිටි ආහාරයට ගන්නා ලෙස ඉන් අදහස් නොවන බවත්, සමස්තයක් ලෙස පිෂ්ඨමය ආහාර වේලෙන් තුනෙන් දෙකක් අඩු කිරීම සිය අරමුණ බවත් හෙතෙම පැහැදිලි කළේය.
මෙහිදී අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරියා සහ ගොවියා අතර ඇති සමාජීය වෙනස ද සිය කතාවට ගෙන ආවේය. උත්සවයට පැමිණ සිටි පිරිසගේ මුහුණු, ඇඳුම් පැලඳුම් සහ බාහිර ස්වභාවය අනුව ඔවුන්ගේ නිශ්චිත ජීවන තත්ත්වයක් පෙන්නුම් කරන බව ඔහු කීවේය. එහෙත් ගොවීන්ගේ රැස්වීමකට ගිය විට, ඔවුන්ගේ මුහුණු, හිසකෙස්, ඇඳුම් සහ සිරුරේ ස්වභාවයෙන් දිස්වන්නේ දරිද්‍රතාවය පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගොවියාගේ ආර්ථිකය නංවාලීමට නම් සාම්ප්‍රදායික ගොවිතැනින් මිදී වාණිජ කෘෂිකර්මාන්තය වෙත යොමු විය යුතු බව ඔහු අවධාරණය කළේය. හෙක්ටයාර් දෙකක ඉඩමක් හිමි පුද්ගලයෙකු ඉන් එක් කොටසක පමණක් වගා කර අනෙක් කොටස නිකරුණේ තැබීමේ මානසිකත්වය වෙනස් විය යුතු බවත්, අඹ, කෙසෙල්, කොස් වැනි දෑ අපනයන බෝග ලෙස හඳුනාගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ආහාර රටාවේ වෙනස ආණ්ඩුකාරවරයාගෙන් ආරම්භ කිරීම වැදගත් බවත්, ආණ්ඩුකාරවරයා මේ වන විටත් තම ආහාර පාලනය කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බවත් ඔහු සඳහන් කළේය. රාජ්‍ය නිලධාරීන් පිෂ්ඨය අඩු කිරීමට ගන්නා මෙම පියවර, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රයට ලබාදෙන දැවැන්ත ජාතික දායකත්වයක් වනු ඇති බව ද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.