ranjan-jayalal-should-publicly-apologize---sunil-handunnetti

පසුගිය ආණ්ඩු සමයන්හිදී ලබාදුන් ආකාරයේ උත්සව සමයේ තෑගි බෝග සහ හැම්පර්ස් තමන්ටත් ලබාදෙන ලෙස වක්‍රාකාරයෙන් හෝ ඉල්ලා සිටීම පැහැදිලිවම අල්ලස් ඉල්ලීමක් බවත්, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සිදුකළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය මුළුමනින්ම හෙළා දකින බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.




ඊයේ (11) සිරස රූපවාහිනී නාලිකාවේ ඉලක්කය දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. නගරාධිපතිවරයා මොන මානසිකත්වයකින් එම ප්‍රකාශය සිදු කළද, ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ කළ එම වරද වහාම මාධ්‍ය ඉදිරියේම නිවැරදි කර ජනතාවගෙන් සමාව ගත යුතු බව ඔහු දැඩිව කියා සිටියේය.

මෙවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව පෙන්වා දුන් හඳුන්නෙත්ති මහතා, අදාළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ කිසිදු සාමාජිකයකුට, හිතවතකුට හෝ ආණ්ඩුවට කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බව සඳහන් කළේය. ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අනිවාර්යයෙන්ම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා තහවුරු කළේය. නීතියේ ආධිපත්‍යය මුලින්ම ක්‍රියාත්මක විය යුත්තේ තමන්ට බවත්, පළමුව තමන්ට අදාළ නීතිමය සහ පක්ෂ විනය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු එහිදී පැවසීය.




2022 වසරේ ජන අරගලය හමුවේ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර කමින්, ජීවිත පවා පූජා කරමින් ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ වංචාව, දූෂණය සහ අල්ලස පිටුදැකීමේ පරමාර්ථයෙන් බව ඔහු සිහිපත් කළේය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැනි උගතුන් සිය මහාචාර්ය වැටුප් හා වරප්‍රසාද පවා පසෙකලා රට වෙනුවෙන් කැපවී සිටින මොහොතක, තෑගි බෝග හෝ වරප්‍රසාද ඉල්ලමින් කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මහජන වරමක් යනු ජනතාවට ඉහළින් සිට පහසුකම් භුක්ති විඳීමක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. බලය ලැබීමත් සමඟ පුද්ගලයන් පිරිහීමට ලක්විය හැකි වුවද, සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඊට ඉඩ නොදෙන බව අමාත්‍යවරයා පැවසීය. ඉතිහාසය පුරා එවැනි පිරිහීම්වලට ලක්වූ ප්‍රබල චරිත පවා පක්ෂයෙන් නෙරපා හැරීමට ජනතා විමුක්ති පෙරමුණ නොපැකිළිව කටයුතු කර ඇති බව සිහිපත් කළ ඔහු, එම දැඩි පක්ෂ විනය අදටත් නොසැලී ක්‍රියාත්මක වන බවට අනතුරු ඇඟවීය.
ආන්දෝලනය ඇති කළ රංජන්ගේ කනබොන කතාව පහතින්