whatsapp-070-350-0525-and-send-videos-of-recklessly-driven-vehicles-to-the-police

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින ඉහළ යන මාරක සහ බරපතළ රිය අනතුරු පාලනය කිරීම සඳහා නවතම පියවරක් ගෙන ඇති ශ්‍රී ලංකා පොලිසිය, අපරික්ෂාකාරී රියදුරන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරයි. ඒ අනුව, මාර්ග නීති උල්ලංඝනය කරමින් අවදානම් සහගත ලෙස වාහන ධාවනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කර සිටියි.




වේග සීමා ඉක්මවා යාම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සහ සෙසු මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳව නොතකා ක්‍රියා කිරීම මෙලෙස අනතුරු බහුල වීමට ප්‍රධාන හේතු ලෙස පොලිසිය පෙන්වා දෙයි. ඊට අමතරව, වාහනවලට නීතිවිරෝධී ලෙස අනතුරුදායක අමතර උපාංග සවි කිරීම හේතුවෙන් එහි ගමන් ගන්නා මගීන්ට මෙන්ම සෙසු මාර්ග භාවිත කරන්නන්ට ද විවිධ අනතුරු, අවදානම් සහ අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දී තිබේ.

මෑතකදී සිදුවූ රිය අනතුරු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇති තවත් බරපතළ කරුණක් වන්නේ, නවීකරණය කරන ලද බස් රථ ඇතුළු බොහෝ බස් රථ ධාවනයට සුදුසු බව තහවුරු කෙරෙන නිසි යෝග්‍යතා සහතික නොමැතිව මගී ප්‍රවාහනයට එක්කර ඇති බවයි.




මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, අපරික්ෂාකාරී ලෙස ධාවනය වන වාහන පිළිබඳව මහජනතාවට ඍජුවම දැනුම් දිය හැකි විශේෂ වට්ස්ඇප් (WhatsApp) අංකයක් හඳුන්වා දීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව, එවැනි රථවාහන වැරදි සම්බන්ධ වීඩියෝ දර්ශන 070 475 5600 යන වට්ස්ඇප් අංකයට යොමු කිරීමේ හැකියාව පවතී.

මීට අමතරව, මාර්ගයේ ධාවනය වන විට අධික ලෙස දුම පිටකරන වාහන පිළිබඳව ද පොලිසියට පැමිණිලි කළ හැකිය. වාහනයේ ලියාපදිංචි අංක තහඩුව පැහැදිලිව පෙනෙන සේ ලබාගත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන, සිද්ධිය වූ දිනය සහ ස්ථානය යන විස්තර ද සමඟ 070 350 0525 යන වට්ස්ඇප් අංකයට යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.



මීට අමතරව හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීම සඳහා 119 අංකය ද, කොළඹ දිස්ත්‍රික්කයේ හදිසි ඇමතුම් අංශයේ 0112 433 333 අංකය ද, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 යන අංකය ද භාවිත කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.

මාර්ග භාවිත කරන මගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිරියටත් අඛණ්ඩව රථවාහන සෝදිසි මෙහෙයුම් දියත් කරන බවත්, නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බවත් පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි. එබැවින් පවතින රථවාහන නීතිරීතිවලට අනුගත වෙමින්, දැඩි වගකීමකින් යුතුව වාහන ධාවනය කරන ලෙස පොලිසිය සියලුම රියදුරන්ගෙන් සහ වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.