huh-arrest-me-if-you-can---chief-justice-preethi-knows-no-law

අනුරාධපුර රුවන්වැලිසෑය ආසන්නයේ මාරාන්තික උපවාසයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුවට ප්‍රතිචාර දක්වමින්, මෙරට අධිකරණ පද්ධතියට සහ අගවිනිසුරුවරයාට දැඩි විවේචන එල්ල කර තිබේ. නොවැම්බර් එකොළොස් වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කස්සප හිමි ප්‍රකාශ කළේ තමන් ව්‍යවස්ථාදායකයට, විධායකයට හෝ අධිකරණයට කිසිදු බියක් නොදක්වන බවත්, අවශ්‍ය නම් පැමිණ තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දැනුම් දෙන බවත්ය.




ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පවතින නඩුවකට නොවැම්බර් එකොළොස් වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය. අදාළ නඩුවේ දෙවැනි සැකකරු ලෙස කස්සප හිමියන් නම් කර ඇති අතර, පොලිසිය විසින් සැකකරුවන් දහහතර දෙනෙකු අධිකරණයට නම් කර තිබේ. ඉන් සැකකරුවන් නවදෙනෙකුට නොවැම්බර් දොළොස් වැනිදා ත්‍රිකුණාමලය වරාය පොලිසියට ගොස් ප්‍රකාශ ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර ඇති අතර නඩුව 2027 ජනවාරි හයවැනිදා යළි කැඳවීමට නියමිතය.

වරෙන්තුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කස්සප හිමි අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉලක්ක කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. අගවිනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිය ඉගැන්වූයේ තමන් බව පැවසූ එහිමියෝ, රටේ අගවිනිසුරුවරයා නීතිය, ධර්මය හෝ ව්‍යවස්ථාව නොදන්නා බවට චෝදනා කළහ. පන්සලක බුදු පිළිමයක් තැන්පත් කිරීමේ වරදට තමන්ව හිරේ දැමීමට කටයුතු කරන බව පවසමින් අධිකරණය සහ නීතිය විවේචනය කිරීම සඳහා කස්සප හිමි නන්දා මාලිනී ගායනා කරන ගීතයක පද පෙළක් ද එහිදී උපුටා දැක්වූයේය.




උපවාසය සඳහා මූලික වී ඇති අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහි වීම සහ බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ අරමුණි යයි අදහස් දැක්වූයේය. විහාරමහාදේවි උද්‍යානයට ලිපියක් එවමින් මහානායක හිමිවරුන් පොරොන්දු ඉටු කර නැතැයිද චෝදනා කළේය.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක මේ වන විට පාලනය වන්නේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් බවත් එම ප්‍රදේශවල කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට කිසිදු බලපෑමක් කළ නොහැකි බවත්, තීන්දු දෙස බැලීමේදී විනිසුරුවරුන් සහ නීතිඥවරුන් පවා නැමෙන්නේ කුමන පැත්තටද යන්න පෙනෙන්නට ඇති බවත් කස්සප හිමි ප්‍රකාශ කළේය.



තම ජීවිතය දන් දීමට සූදානම් බවත්, යම් හෙයකින් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගතහොත් ‘යෙලෝ මූව්මන්ට්’ නමින් භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් සූදානම් කර ඇති බැවින් මෙම මාරාන්තික උපවාසය අනෙකුත් ස්වාමීන් වහන්සේලා විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් කස්සප හිමි ප්‍රකාශ කළේය. ඥානසාර හිමියන්ද බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කළ යුතු බවටද ආරාධනාවක් කළේය. යම් හෙයකින් ඥානසාර හිමියන් එළියට ගැනීමට නොහැකි වී තමන් අපවත් වුවහොත්, තම කාර්යයත් ඉදිරියට ගෙනයාමට අධිකරණ අපහාස චෝදනා මත වසර 5 ක් හිරේ සිටින ඥානසාර හිමියන් වගකිව යුතු බවද ප්‍රකාශ කළේය.