an-appeal-against-the-attorney-general-over-the-x-press-pearl-incident

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හරහා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින්, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපති පාරින්ද රණසිංහ වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.




පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ වෙනුවෙන් නීතිඥ නිල්මාල් වික්‍රමසිංහ විසින් පසුගිය නොවැම්බර් 07 වන දින ලියාපදිංචි තැපෑලෙන් මෙම ලිපිය යොමු කර ඇත. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට මාස 15කට පෙර ලබාදුන් අදාළ නියෝගයන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව එමගින් පෙන්වා දී තිබේ.

මෙම නීතිමය පියවර සඳහා පදනම් වී ඇත්තේ 2025 ජූලි 24 වන දින අංක SC/FR/168/2021 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සහ ඊට අදාළ සෙසු පෙත්සම් සඳහා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි. එම තීන්දුවේ 895 සහ 896 ඡේදයන්ට අනුව, සාගර පරිසර ආරක්ෂණ පනතේ 26(a) වගන්තිය යටතේ නෞකාවේ හිමිකරුවන්ට සහ මෙහෙයුම්කරුවන්ට එරෙහිව අපරාධ වගකීම් යටතේ නඩු විභාග කිරීමේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට නීතිපතිවරයා අපොහොසත් වී ඇති බවට අධිකරණය විසින් තීන්දු කර තිබුණි.




එමෙන්ම, ශ්‍රී ලංකා මහාධිකරණය හමුවේ සිවිල් නඩු පැවරීම පසෙකලා සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට ගත් තීරණය සාධාරණ නොවන, තර්කානුකූල නොවන සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් වැඩිදුරටත් තහවුරු කර ඇත.

මෙම පසුබිම මධ්‍යයේ, අදාළ ලිපිය ලැබී දින 14ක් ඇතුළත අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිඛිත පිළිතුරක් ලබාදෙන ලෙසත්, නඩු ගාස්තු වහාම පියවන ලෙසත් පරිසර යුක්ති කේන්ද්‍රය නීතිපතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටියි. නියමිත කාල සීමාව ඇතුළත ඊට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය පියවර ගන්නා බව අදාළ එන්තරවාසිය මගින් අවධාරණය කර තිබේ.